රුසියාවේ සහ අපේ විප්ලව – සී. ජේ. අමරතුංග

ඉතිහාසයේ ඇතැම් සිදුවීම් තේරුම්ගත හැකිවන්නේ ඒවායේ මතුපිටින් ප්‍රකාශිත දෙයින් නොවේ. එහි පිටුපස ඇති සැබෑ කතාන්දරය විමසා බැලීමෙනි. එසේ නොවනවිට සිදුවන්නේ තමන්ගේ විශ්වාසයන් අනුව යම් යම් අදහස් ප්‍රකාශ කිරීමයි. එවැනි ප්‍රකාශ මඟින් සැබෑ යථාර්ථය පිළිබිඹු වන්නේ නැත.

මේ දිනවල ඇතැමුන්ගේ පුදුමයට හේතුවී තිබෙන සිදුවීමක් නම් රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සැමරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් වාමාංශික කණ්ඩායම් සමඟ එක්ව සිටීමයි. මෙයින් ජනාධිපතිතුමා එයට සහභාගිවීම එතරම් අරුමයක් නොවන්නේ එතුමා වාමාංශික ප්‍රජාව සමඟ සබඳතා ඇතිව සිටින්නකු නිසාය. එසේ වූවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගැන තිබෙන ප්‍රතිරූපය එවැන්නක් නොවේ. බොහෝදෙනා වික්‍රමසිංහ මහතා ගැන සිතා සිටියේ ඔහු මෙරට දක්ෂිණාංශයේ නියෝජිතයකු වශයෙනි. එබැවින් රුසියානු විප්ලව සැමරුමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුල්වීම ප්‍රශ්න මතුපිටින් දකින්නකුට තේරුම්ගත හැකි නොවීම පුදුමයට කරුණක් වන්නේ නැත.

රුසියානු විප්ලව සිදුවූයේ 1917 දීය. එය පෙබරවාරි විප්ලවයෙන් ආරම්භ වී ඔක්තෝබර් විප්ලවය දක්වා වර්ධනය වූ ක්‍රියාදාමයකි. රුසියාවේ භාවිතා කළ පැරණි දින දර්ශනයට අනුව පෙබරවාරි විප්ලවය ලෙස හැඳින් වූ සිදුවීම අපගේ වත්මන් දින දර්ශනයට අනුව සිදුවන්නේ මාර්තු මුලදීය. එම දින දර්ශනයට අනුව ඔක්තෝබර් 25දා සිදුවූ විප්ලවය අපගේ දින දර්ශනයට අනුව සිදුවන්නේ නොවැම්බර් 07 දාය. මෙම වසරට මේ විප්ලව දෙකටම වසර සියයක් පිරෙයි. එම වසර සියය සැමරීමට පුරෝගාමී වැඩකොටසක් ආරම්භකොට ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයයි. එහි පළමු වැඩසටහන පසුගිය සඳුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙම සමරු වැඩසටහන නොවැම්බරය දක්වා රටපුරා ක්‍රියාත්මක කරන බව කියති.

මතුපිටින් කරන නිගමන

මෙලෙස ප්‍රජාතන්ත්‍රවාදී ධනපති නායකයකු විප්ලව සැමරීමට එක්වී සිටීම ඇතැම් වාමාංශිකයන්ටද අදහාගත නොහැකි වී ඇත. ඒ ගැන මුල්ම විවේචනාත්මක සටහන අන්තර්ජාලයේ පළ ‍කළේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාය. ඔහු කීවේ මෙය වැරදීමක් වෙන්නට බැරි බවත්, රනිල් වික්‍රමසිංහ මහතා වෙනස් වී ඇති බවත් මෙයින් නොකියැවෙන බව හා මෙය දේශපාලනයේ වෙනස්වීමක ප්‍රතිඵලයක් බවත්ය. ඒ වෙනස කුමක් දැයි ඒ මහතා විස්තරකොට තිබුණේ නැත.

මෙම වැඩසටහනට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද ආරාධනාකොට තිබිණි. එම දෙපිරිසම එයට සම්බන්ධ නොවූයේ රනිල් සමඟ රුසියානු විල්පව සැමරීමට ඔවුන්ට හිරිකිතයක් ඇති බවක් පෙන්නුම් කරමිනි. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා කියා තිබුණේ මෙය රනිල්ගේ වුවමනාවක් නොව වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ අවශ්‍යතාව ඉටුකිරීමක් බවයි. අගමැති රනිල් රුසියානු විල්පව සැමරුමට එක්වීම වාමාංශිකයන් විග්‍රහකරන්නට යන්නේ එබඳු සරල ආකාරයෙනි. එයින් ඇත්තටම පෙනීයන්නේ රුසියානු විප්ලවයේ සැබෑ ගැඹුර ගැන මෙන්ම ශ්‍රී ලංකාවේ අද දේශපාලනයට එහි ඇති සබඳතාවය පිළිබඳවද මොවුන් ගැඹුරින් සොයා බලා නැති බවයි.

රුසියානු විප්ලව සැමරුම සඳහා පසුගිය සඳුදා පැවැති ආරම්භක වැඩමුළුවේදී රනිල් වික්‍රමසිංහ මහතා තමාගේ දැක්ම සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකොට තිබිණි. ඒ මහතා කියා තිබුණේ රුසියානු විප්ලවය මඟින් එරට රාජාණ්ඩුව පෙරළා දමා ප්‍රජාතන්ත්‍රවාදයට මඟ විවර කළ බවයි. අප රටේ 2015 ජනවාරි අටවැනිදා හා අගෝස්තු 16 දා සිදුවූයේද එබඳුම විප්ලව බවත් එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් සිදුකළ බවත් ඒ මහතා ප්‍රකාශකොට තිබිණි. රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ආණ්ඩු කිරීමද සමගියෙන් වැඩ කිරීමද මෙම විප්ලවයේ ජයග්‍රහණ ලෙස අගමැතිවරයා පෙන්වාදුන්නේය.

මෙය ඇතැම් වාමාංශිකයන් රුසියානු විප්ලව දකින ආකාරයට වෙනස් දැක්මකි. විශේෂයෙන්ම රුසියාවේ ඔක්තෝබර් විප්ලවය වාමාංශිකයන් දකින්නේ සමාජවාදී විප්ලවයක් වශයෙනි. ධනපති ක්‍රමය පෙරළා දමා සමාජවාදය ගොඩනැඟූ විප්ලවයක් ලෙස ඔවුහු ඔක්තෝබර් විප්ලවය සමරති. එසේ වූවද ඒ පිළිබඳව පවතින්නේ විවාදාත්මක තත්ත්වයකි.

වාමාංශිකයන් සමාජවාදය ලෙස න්‍යායිකව පිළිගත් ක්‍රමය ගැන අදහස් ඉදිරිපත් කළේ කාල් මාක්ස්, ෆෙඩ්රික් එංගල්ස් වැනි නායකයින් විසිනි. සමාජවාදය ලෙස ඔවුන් හඳුනාගත් ක්‍රමය පොදු දේපළ ක්‍රමයක් සහිත පංති විෂමතාවලින් තොර ක්‍රමයකි. එය තුළ ප්‍රාග්ධනය මෙන්ම වැටුප් ශ්‍රමයද අහෝසිවන බව කාල් මාක්ස් හා එංගල්ස්ගේ ඉගැන්වීමයි. එපමණක් නොව රජයද අහෝසිවිය යුතුය.

කොමියුනිස්ට් ක්‍රමය ලෙස හඳුන්වන ලද මෙම ක්‍රමය වී අයි ලෙනින් විසින් කොටස් දෙකකට වෙන්කරන ලදි. එනම් එහි මුල් අදියර හා දියුණු අදියර වශයෙනි. එහිද නිශ්චිත හැඩරුව තිබිණ.

කෙසේ වෙතත් ඔක්තෝබර් විප්ලවයෙන් පසුව රුසියාවේ ගොඩනැඟුණේ වෙනස්ම ආකාරයේ ක්‍රමයකි. පොදු දේපළ ක්‍රමය යන්න වෙනුවට රාජ්‍ය දේපළ ක්‍රමයක් ස්ථාපිත විය. රජය දුර්වල වනවා වෙනුවට බලගතු ආඥාදායක රජයක් බිහිවිය. ඇතැම් වාමාංශිකයන් මෙය පවතින සමාජවාදය ලෙස පිළිගත්තද එය නොපිළිගත් පිරිසක් විය. එය පිරිහිණු කම්කරු රාජ්‍යයක් යැයි කියුවෝද වූහ. ඇත්ත වශයෙන්ම පැවැතියේ රාජ්‍ය ධනවාදී ක්‍රමයකි.

කාලයක් මෙම ක්‍රමය යටතේ සියලු ජනයාට යම් ජීවන මට්ටමක් සහතික කර දී තිබිණි. සමහරු එය සමාජවාදය ලෙස හැඳින්වූහ. එසේ වූවද ඉතාම අකාර්යක්ෂම වූ එම ක්‍රමය පවත්වාගෙන යා නොහැකි විය. සෝවියට් දේශයේත් නැගෙනහිර යුරෝපයේත් පැවැති මෙම ක්‍රමය බිඳ වැටුණි. ඇතැම් වාමාංශිකයන් කීවේ ලෝක ධනපති ක්‍රමයේ කුමන්ත්‍රණ මඟින් එය බිඳ වැට්ටු බවයි. එසේ වූවද යථාර්ථය එය නොවන බව තේරුම්ගත් චීනය, වියට්නාමය වැනි රටවල කොමියුනිස්ට් පක්ෂ ආර්ථික සංවර්ධනයට වෙනත් මාවත් තෝරාගත්හ. එබැවින් ඔක්තෝබර් සමාජවාදී විප්ලවයක් ගැන කීවද සමාජවාදී කාර්යයේදී එය අසාර්ථක උත්සාහයකි. කෙසේ වෙතත් එම හේතුව නිසා රුසියාවේ විප්ලවවලට වටිනාකමක් නැතිවන්නේ නැත. එහෙත් එම විප්ලවවල ඇත්ත වටිනාකම ඇත්තේ සමාජවාදය ගොඬ නැඟීම නිසා නොවේ, ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ වැඩකොටස් ඉටුකිරීම නිසාය. රුසියාවේ පෙබරවාරි විප්ලවයෙන් සාර් රාජාණ්ඩුව පෙරළා දැමූ නමුත් රදලවාදය විනාශ කිරීමට එයට නොහැකි විය. එසේ වූවද ඔක්තෝබර් විප්ලවයෙන් පසුව රුසියාවේත් සෝවියට් දේශය ලෙස එක්වූ රටවලත් රදළවාදී සබඳතා මුලිනුපුටා දමනු ලැබීය. එය ‍ඓතිහාසික වශයෙන් ප්‍රජාතාන්ත්‍රීය කාර්යභාරයකි. ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයකි. එනිසාම එය ප්‍රගතිශීලී කාර්යයකි. රුසියානු විප්ලවවල ඇත්ත වටිනාකම තිබෙන්නේ එතැනය. අපට එය වැදගත්වන්නේ මෙරටෙහි මේ වනවිට ඉටුකිරීමට තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කාර්යභාරයක් නිසාය.

රදළවාද‍ෙය් බිඳවැටීම

ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකින් හැමවිටම ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවක් බිහිවන්නේ නැත. ප්‍රංශ මහා විප්ලවය අවසන් වූයේ නැපෝලියන් බොනපාට්ගේ බලයට පත්වීමෙනි. එසේ වූවද බොනපාට්ගේ ක්‍රියා මඟින් ප්‍රං‍ශයෙත් යුරෝ‍පයේත් රදළවාදී සබඳතා බිඳදමනු ලැබිණි. එබැවින් එය ප්‍රගතිශීලී කාර්යභාරයක්ව තිබිණි.

ඔක්තෝබර් විප්ලවයෙන් ඇත්ත සමාජවාදයක් බිහිවූයේ නැත. එයින් බිහිවුණේ ඒකාධිපතිවාදී රාජ්‍යයකි. එහි කුරීරු මර්දනකාරී බව 1956 සෝවියට් කොමියුනිස්ට් පක්ෂ සමුළුවේදී පක්ෂයේ එවකට ප්‍රධාන ලේකම් නිකිතා කාෂව් විසින් හෙළිදරව් කරනු ලැබීය. ඒ සියල්ල එසේ වූවද ඔක්තෝබර් විප්ලවය මඟින් එක්තරා ආකාරයක සමාජවාදී කාර්යභාරයක්ද ඉටුකරනු ලැබිණි. එනම් සමාජවාදය හා සමානාත්මතාවය පිළිබඳ මතවාදය ලොව පුරා ප්‍රචලිත කිරීමයි. එමඟින් ලෝකයට විශාල බලපෑමක් සිදුවිය. ආදායම් විෂමතාවය පාලනය කිරීම, දුගී ජනකොටස්වල සුබසාධනය ආදී සංකල්ප ශක්තිමත්වීමට එහි බලපෑම අතිවිශාලය. එය ලෝකයේ අනාගත සංවර්ධනයට සිදුකර ඇත්තේ යහපත් දායකත්වයකි.එමෙන්ම ජාතීන්ගේ නිදහස පිළිබඳ අදහසද ඔක්තෝබර් විප්ලවය මඟින් ලොව පුරා ප්‍රචලිත කළේය.ලෝකයෙන් අධිරාජ්‍යවාදය අතුගැවී ගියේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ඔක්තෝබර් විප්ලවය මඟින් තවත් පාඩමක් අපට උගන්වා ඇත. එනම් ධනපති ක්‍රමයේ සංවර්ධනයෙන් තොරව හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අවසන් කිරීමෙන් තොරව වෙනත් ඉදිරි ගමනක් යාම ‍නොකළ හැකි බවයි. එයින්ද අපට උගන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාවයයි.

රුසියානු ජනතාව 1917 මාර්තුවලදී (පැරණි දින දසුනේ පෙබරවාරි) සයවන නිකොලොස් සාර් රජුගේ රාජාණ්ඩුව බලයෙන් පහකළේ එම පාලනය ජනතාවට පීඩාකාරී වූ නිසාය. ඉන්පසුව රදළවාදය විනාශකිරීම මානසික අවශ්‍යතාවය වූවද එය සිදුනොවනවිට මහජනයා පෙරට විත් ඔක්තෝබර් විප්ලවය ක්‍රියාත්මක කළේය.

අපේ ජනතා නැගිටීම

ශ්‍රී ලංකාවේ රාජාණ්ඩුවක් නිල වශයෙන්නොතිබුණු නමුත් රජ පවුලක් ලෙස වැඩුණු පාලන තන්ත්‍රයක් ජනතාව පීඩාවට පත්කරමින් ක්‍රියාත්මකවෙමින් තිබිණි. රුසියානු රජ පවුලේ හා ‍රදළයන්ගේ වියදම් මහජනයාට පීඩාවක් වූවා සේම මෙරට පාලක තන්ත්‍රයේ නාස්තිකාර වියදම්, සොරකම් දූෂණ ආදියද ජනතාව මත දරාගත නොහැකි බරක් පටවා තිබිණි.

රුසියානු ජනයා සාර් රජ පවුලටත් රදළ වංශාධිපතිට එරෙහිව නැගී සිටියා සේම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනයටත් එහි අන්ෙත්වාසියන්ටත් එරෙහිව මෙරට ජනතාවද නැගී සිටියේය. එම සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය 2015 ජනවාරි 08දා ජය ගත්තේය. අගෝස්තු මැතිවරණයෙන් එම ජනතා ජය තවදුරටත් තහවුරු විය. අත්‍යාවශ්‍ය භාණ්ඩවලට රාජපක්ෂ පාලනය පනවා තිබූ බදු අඩු කළ දින සියයේ ආණ්ඩුව පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල අඩුකොට රජයේ සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළේය. සාර් පාලනය විසින් විනාශකොට තිබූ ආර්ථිකය ගොඩනැඟීමට විප්ලවයෙන් බලයට පත්වූ රජයට දැඩි කැපවීමෙන් ක්‍රියාකරන්නට සිදුවූවා සේම රාජපක්ෂවරුන් විනාශ කළ ආර්ථිකය ගොඩනැඟීමට වත්මන් රජයටද කැපවී ක්‍රියාකිරීමට සිදුවී තිබේ.

ඔක්තෝබර් විප්ලවයෙන් පසුව විප්ලවකාරී ආණ්ඩුවක් බිහිකොට රදළවාදය විනාශ කරනවිට එයට එරෙහිව සුදු හමුදා යොදවා වසර ගණනක යුද්ධයක් කිරීමට පරාජිත පාලකයන් කටයුතු කළෝය. අද ඒකාබද්ධ විපක්ෂය කරන්නේද එම ප්‍රතිවිප්ලවයේ කාර්යභාරයයි.

එදා සාර්වාදීන්ගේ ප්‍රතිවිප්ලවීය කැරැල්ල මහජන බලයෙන් පරාජය කළ හැකි විය. අද ද සිදුවෙමින් තිබෙන්නේ ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමට ක්‍රියාත්මක ප්‍රතිවිප්ලවීය බලවේග සමඟ සටන්කිරීමට සිදුවීමයි. එයින්ද මෙරට ජනයා ජයගනු නියතය.

ඒ අනුව බලනවිට රුසියානු විප්ලව සැමරීම අපට වැදගත් වන්නේ හුදු ආශ්වාදයකට නොවේ. එමඟින් ලැබෙන ශක්තියෙන් අපගේ විප්ලවයේ ප්‍රජාතන්ත්‍රවාදී කාර්යභාරය අවසානය දක්වා කරගෙන යාමටය.

සී. ජේ. අමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *