පචවීමේ නොවැදගත්කම – වසන්ත ප්‍රිය රාමනායක

 

සමහර දේශපාලනඥයන් හා නිලධාරීන් විවිධ තැන්වල පවසන බයිලා ගණයේ ප්‍රකාශ ජනාධිපති කොමිසමක් ඉදිරියේ ප්‍රකාශ කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් වන්නේ නැත. එසේම ඉහළ නියෝග මත තමන්ට ඉටු කිරීමට සිදු වූ නීතිවිරෝධී මෙන්ම රෙගුලාසි විරෝධී කාරණා ඉටු කිරීමට සිදු වූ බව නිර්භයව ප්‍රකාශ කිරීමට රාජ්‍ය නිලධාරීන් සමත් වීමද මෙහි විශේෂත්වයකි.

රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා හා දූෂණ විමර්ශනය කිරීම උදෙසා පත් කරනු ලබන ‘කෝප් කමිටුව’ සම්ප්‍රදාය අපේ රටේ කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින්නකි. මේ වන විට එවන් කෝප් කමිටු වාර්තා 30ක් පමණ නිකුත් වී ඇතැයි කියැවේ. සාමාන්‍යයෙන් කෝප් කමිටුවල සභාපතිත්වය හිමිකර ගන්නේද රජය නියෝජනය කරන පක්ෂයේම කෙනෙකි.

වත්මන් යහපාලන රජය කෝප් කමිටුවේ සභාපතිධුරයේ වෙනසක් සිදු කළ බව මේ වන විට රටට රහසක් නොවේ. එනම් ‘කෝප්’ කමිටුවේ සභාපතිධුරය විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකුට පිරිනැමීමය. මෙවර එය සිදු වූයේ ද එසේ මෙසේ අයුරකින් නොවේ. එනම් විපක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ රැඩිකල් මන්ත්‍රීවරයකු වන සුනිල් හඳුන්නෙත්ති මහතා ඒ සඳහා තෝරා ගෙන ඇත.

සාමාන්‍යයෙන් වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ රටේ සිදු වන දූෂණ, අක්‍රමිකතා හා නාස්තියට එරෙහිව ඉදිරියෙන්ම ක්‍රියා කරන පක්ෂයක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම වාමාංශික පක්ෂයක් ලෙසින් ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේ වාමාංශිකයන්ගේ ප්‍රධාන කාර්යභාරය නිවැරදිව හඳුනා ගෙන තිබෙන බව ද පෙනේ. එනම් නාස්තිය දූෂණ හා අක්‍රමිකතාවන්ට එරෙහිව කොන්දේසි විරහිතව නැ‍ඟී සිටීම හා ඒ වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටීමයි. මෙමගින් රටේ මූල්‍ය පාලනයේ යම් විනයක් ඇති කිරීමට හැකි වේ යැයි ඔවුහු බලාපොරොත්තු වෙති.

රාජ්‍ය යාන්ත්‍රණය

වත්මන් රජය යහපාලනය නමින් පෙනී සිටියද, පසුගිය රජයේ දූෂණ හා අක්‍රමිකතා මේ රජය බලයට පත් කිරීමට හේතු වුවද, රාජ්‍ය යාන්ත්‍රණය තුළින් එම මූලධර්මය සාර්ථක ලෙසින් ක්‍රියාවට නැංවීම එතරම් පහසු කාර්යයක් නොවන බව මේ වන විටත් තහවුරු වෙමින් පවතී. පසුගිය පාලනයට එරෙහිව මෙන්ම වත්මන් රජයේ ප්‍රබලයන්ට හා රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීන්ට එරෙහිවද මේ දිනවල විවිධ චෝදනා පත්‍ර ඉදිරිපත් වේ. මේ නිසා අල්ලස් හා දූෂණ කොමිසන් සභාව, මූල්‍ය අපරාධ විමර්ශන කොමිසම තවදුරටත් පුළුල් කළ යුතු ද, ඒවායේ පහසුකම් වැඩි කළ යුතුද යන කාරණයද රට හමුවේ ඇත.

පසුගිය සමයේ හා වර්තමානයේ ඉදිරිපත් වූ කෝප් කමිටු වාර්තා ගත් කල, මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළ කෝප් කමිටු වාර්තාව රටේ කාගේත් විශේෂ අවධානයට ලක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය වත්මන් රාජය පාලනය යටතේ සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවයකට අදාළ කෝප් වාර්තාවකි. බැඳුම්කර මගඩිය ලෙසින් එම සිදු වීම සමාජගත වී තිබේ. මේ වාර්තාවට ඉහත ඉදිරිපත් වූ ඩියු ගුණසේකර කෝප් කමිටු වාර්තාව මගින්ද මූල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිදරව් වී ඇත. එහි වටිනාකම කෝටි 33000 ලෙසින් සැලකේ. මෙම වාර්තාවෙන් සාකච්ඡා වන කාරණා අයත් වන්නේ මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමයටය. මේ නිසා කෝටි 33, 000ක අක්‍රමිකතා වාර්තා වන්නේ එම රාජ්‍ය සමයේ රාජය ආයතනවල සිදු වූ දූෂණ අක්‍රමිකතා ලෙසිනි.

එහෙත් වත්මන් රජය තම පාලනය සමයේ සිදු වූ බැඳුම්කර වංචාව පිළිබඳ කාරණය ඉදිරියට ගෙන, ඒ පිළිබඳ සොයා බැලීමේ විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර තිබීම සුවිශේෂි තත්ත්වයක් ලෙසින් සැලකේ. එය හොඳ ආදර්ශයකි. මින් ලබා දෙන යහපාලන ආදර්ශය සම්බන්ධයෙන් මාධ්‍ය මගින්ද එතරම් කතාබහක් සිදු කරන බවක් නොපෙනේ. බැඳුම්කර කොමිසන් සභා වාර්තාව සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන මාධ්‍ය එය වත්මන් රජයේ විනිවිදභාවය නිසා සිදු වන යහපත් ක්‍රියාදාමයක් ලෙසින් ඉස්මතු කිරීමට මැළිකමක් දක්වන බව පෙනේ. රජය දූෂිතයන් ආරක්ෂා කිරීමේ චේතනාවෙන් කටයුතු නොකරනවා මෙන්ම විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පාලනය යටතේ සිදු වන අක්‍රමිකතා පිළිබඳ චෝදනා යට ගැසීමට සූදානමක් නොමැති බව ද බැඳුම්කර ජනාධිපති කොමිසමෙන් පැහැදිලි වේ.

ආණ්ඩුවේ ස්ථාවරය

“බැඳුම්කරය පිළිබඳ මගේ මතය මොකක්ද කියන එක කෝප් කමිටු සාමාජිකයෙක් හැටියට මුළු රටම දන්නවා. මහ බැංකුවේ අධිපතිවරයා මීට වගකිව යුතුයි කියල පක්ෂ භේදයකින් තොරව පිළි අරගෙන තිබෙනවා. එතැනින් එහාට කළ යුතු දේ සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක වෙලා තිබෙනවා.” (විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා 12.03.2017 මාධ්‍ය)

ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලිය. බැඳුම්කර කොමිසම පත් කිරීම මගින් ජනාධිපතිවරයා 2015 ජනවාරි 8 වැනිදා තමා පත් කරනු ලැබූ ජනතාවගේ විශ්වාසය තහවුරු කරගෙන ඇත. කෙටියෙන්ම එතුමා ජනතාවට දෙන පණිවිඩය වන්නේ,

“මගේ ආණ්ඩුව යටතේ යම් අක්‍රමිකතාවක්, වංචාවක් සිදු වුවහොත් ඒ ගැන කිසිදු පැකිලීමකින් තොරව පරීක්ෂණ පවත්වා අදාළ සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන යෑමේ පහසුකම් සලසනවා” යන්නයි. අදාළ ආයතන ක්‍රියාත්මක වීමට මේ නිදහස හා පහසුකම වැදගත්ය. එය රටේ නායකයාගෙන්ම ලැබී තිබේ. දේශපාලනඥයකුට ජාතික විශ්වාසය තහවුරු කර ගැනීමට මෙවන් ක්‍රියාදාමයකට අවතීර්ණ වීම වැදගත්ය. විශේෂයෙන්ම රාජ්‍ය පාලනයේ දී දේශපාලන නායකයන් උනන්දු වන්නේ පෙර පාලනයේ වැරැදි සොයමින් තම පාලනයේ වැරැදි යටපත් කිරීමටය. ‘මෛත්‍රී පාලනය’ මෙම සම්ප්‍රදාය පැහැදිලිවම වෙනස් කර තිබෙන බව පෙනේ. පසුගිය රජයේ කෝටි 33000 ක අක්‍රමිකතාවක් හෙළි වන කෝප් කමිටු වාර්තාවට වඩා වත්මන් රජයේ වාර්තාව කරළියට එන්නේ මෙම ප්‍රතිපත්තිය යටතේය. ඊට සහයෝගය දක්වනවා වෙනුවට විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන බන්දුල ගුණවර්ධන මහතා කර තිබෙන්නේ අදාළ කොමිසම සම්බන්ධයෙන් ජනතා විශ්වාසය පළුදුවීමේ ප්‍රකාශයකි. එය අතේ පත්තු වන බොරුවක් බවට පත්කිරීමට ද විශේෂ ජනාධිපති කොමිසම සමත් වී ඇත.

මේ අතර පසුගිය පාලනයේ සිදු වූ දූෂණ අක්‍රමිකතා පිළිබඳව වචනයක් කතා නොකරන බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා බැඳුම්කර කොමිසම මගින් උපරිම දේශපාලන වාසි ලබා ගැනීමට සැරසෙන බව පෙනේ. ඔහුට බැඳුම්කර කොමිසම ගැන කරන ලද ප්‍රකාශනයක් සම්බන්ධයෙන් කොමිසමෙන් සමාව ගැනීමටත්, කොමිසමේ අවවාද පිළිගැනීමටත් සිදු වන්නේ හැම කාරණයකින්ම දේශපාලන වාසි ගැනීමට යෑම නිසා බව පෙනේ.

බැඳුම්කර සිද්ධියට අදාළ විශේෂ තොරතුරු තමා ළඟ ඇති බවත්, ඒවා කොමිසම ඉදිරියේ හෙළි දරව් කිරීමට කොමිසමෙන් ලිඛිතවම අවස්ථාවක් ඉල්ලා ඇති නමුත් තමාට එම අවස්ථාව නොලැබුණු බවත් බන්දුල ගුණවර්ධන මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී පවසා ඇත. එහෙත් කොමිසමට එවන් ලිපියක් ලැබී නැත. කොමිසමේ කීර්ති නාමය පළුදු වන පරිදි මෙන්ම දේශපාලන වාසි ලබා ගැනීමට නැතිනම් ආවාට ගියාට කටට ආ පලියට වාගේ මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය කර ඇති බව පැහැදිලිය. එය එවන් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුට තරම් නොවේ. ‘මේ අනුව ඔන්න ආණ්ඩුව පත් කර ඇති කොමිසන් සභාවල හැටි’ යන මතය ජනතාවට නැ‍ඟී එන ආකාරයෙන්ද මෙහි දී මන්ත්‍රීවරයා කටයුතු කළා දැයි කියන්න දන්නේ නැත.

පසුගිය රජය මගින් සිදු කර ඇති වැරැදි ගැන හිතා මතා කතා නොකළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බැඳුම්කර සිදුවීම වත්මන් රජය යටතේ යට ගසනු ඇතැයි විශ්වාස කළ බව පෙනේ. පසුගිය සමයේ ඒකාබද්ධ විපක්ෂයේ සමහර අයගේ ප්‍රකාශවලින් එය පැහැදිලි වුණි. එහෙත් අවසානයේ ඔවුන් අපේක්ෂා නොකළ දෙයක් සිදු වුණි. එනම් ජනාධිපතිවරයා ජනතාවට පොරොන්දු වූ පරිදි ම තමාගේ රජය යටතේ සිදු වූ කරුණක් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමයි. එමගින් ජනාධිපතිවරයා ආණ්ඩු දෙකේ වෙනස රටට පෙන් වූ පසු දැන් එම කොමිසම හෑල්ලූ වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමට ගොස් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හිරවුණේය. එසේම මෙය ජනතාව හමුවේ අසත්‍යයක් ප්‍රකාශ කිරීමකි.

බන්දුල ගුණවර්ධන මහතාගේ ක්‍රියාකලාපයෙන් සිදු වූයේ ජනාධිපති කොමිසම තවත් ශක්තිමත් වීමකි. ඒ සම්බන්ධයෙන් ඔහුට ස්තූතිවන්ත විය යුතු ය. එසේම එහි සාධාරණ හා අපක්ෂපාතිත්වය ජනතාව තුළ තහවුරුවීමක් ද සිදු විය. මේ වනවිට මෙම කෙමිසම හමුවේ කෝප් වාර්තාවටත් එහා ගිය කරුණු අනාවරණය වෙමින් පවතී. වැරැදි ගැසට් පත්‍රයක තොරතුරු දැනටමත් හෙළි වී ඇත. එම ව්‍යාජ ගැසට් පත්‍ර නිකුත් කිරීමේ සම්ප්‍රදාය පසුගිය රාජ්‍ය සමය දක්වා දිව යයි. දැන් හිටපු මහ බැංකු අධිපතිවරුන් දෙදෙනකුගේ ම ක්‍රියා කලාපයන් දිග හැරේ. එසේම සමහර නිලධාරීන් කෝප් කමිටුවේ දුන් සාක්ෂි කොමිසම හමුවේ වෙනස් වී ඇති බවක් ද දක්නට ලැබේ.

සමහර දේශපාලනඥයන් හා නිලධාරීන් විවිධ තැන්වල පවසන බයිලා ගණයේ ප්‍රකාශ ජනාධිපති කොමිසමක් ඉදිරියේ ප්‍රකාශ කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් වන්නේ නැත. එසේම ඉහළ නියෝග මත තමන්ට ඉටු කිරීමට සිදු වූ නීතිවිරෝධී මෙන්ම රෙගුලාසි විරෝධී කාරණා ඉටු කිරීමට සිදු වූ බව නිර්භයව ප්‍රකාශ කිරීමට රාජ්‍ය නිලධාරීන් සමත් වීමද මෙහි විශේෂත්වයකි. මේ නිසා කොමිසමේ තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර සිටම රාජ්‍ය අංශයේ නිලධාරින් තීන්දු ගැනීමේ දී දෙවරක් සිතා බැලීමට කටයුතු කිරීම මෙන්ම වැරැදි නීති විරෝධි නියෝග පිළි නොපැදීමට තමන්ගේ පිට කොන්ද සකසා ගැනීමද වැදගත්ය. මේ අයුරින් කොමිසමේ සාක්ෂි විභාගය දැනටමත් රාජ්‍ය සේවයට යම් සුබවාදී බලපෑමක් එල්ලකර තිබෙන බව පෙනේ. එසේම නිදහසේ රාජ්‍ය නිලධාරින්ට සාක්ෂි දීමට හැකි පරිසරයක් කොමිසන් මගින් උදා කර දී ඇත. එමගින් ඉදිරියටද සපයනු ලබන්නේ යහපත් ආදර්ශයකි.

මාධ්‍ය සංදර්ශන

මේ රටේ සමහර දේශපාලනඥයෝද රූපවාහිනී වැඩසටහනක් හෝ රූපවාහිනි කැමරාවක් තමන් වෙත යොමු වන ඕනෑම මොහොතක කුමක් හෝ දෙඩවීමට පුරුදු වී සිටිති. සමහරු ලකුණු දා ගන්නේම රූපවාහිනි කැමරා ඉදිරියේය. තමන්ට ඡන්දය දුන් ජනතාවගේ ඕනෑ එපාකම් සොයමින් ගමට නොයන මන්ත්‍රීවරුන් පවා තමන් සක්‍රීයව සිටිනා බව ප්‍රකාශ කිරීමට උපයෝගී කරගන්නේ ද රූපවාහීනි මාධ්‍ය බව පෙනේ. ඒවා බොහෝවිට රඟපෑම්ය. මේ නිසා බොරු කීමට මෙන්ම මාධ්‍ය ඉදිරියේ නොහොබිනා ලෙස හැසිරීමටද සමහරු පෙළඹී සිටී. එහෙත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා නම් රූපවාහිනිය ඉදිරියේ යහපත්ව හා ආදර්ශවත්ව හැසිරෙන බව ද ඔහුට ගෞරවයක් ලෙසින් සඳහන් කළ යුතුය. එහෙත් ඔහු නියෝජනය කරන කණ්ඩායම වෙනුවෙන් දේශපාලනය කිරීමට එම මන්ත්‍රීවරයාට සිදු වී තිබේ. ඔහු විපක්ෂය නියෝජනය කරන හොඳ මන්ත්‍රීවරයෙකි. එහෙත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වෙනුවෙන් යම් යම් වගකීම් විරහිත ප්‍රකාශ කිරීමටද සමහර මන්ත්‍රීවරුන්ට සිදු වී තිබෙන බවට බන්දුල ගුණවර්ධන හොඳ උදාහරණයකි.

මෙදා බැඳුම්කර කොමිසම මගින් පෙන්වා දෙන කාරණය නිලධාරීන්ට මෙන්ම දේශපාලනඥයන්ටද වැඩදායකය. එනම් ජනතාව නියෝජනය කරන වගකීමක් දරන කෙනෙක් ජනතාව වෙනුවෙන් වගකීමක් ඇතුව ප්‍රකාශ කිරීමට වගබලා ගන්නා ලෙසය. ජනතාවගෙන් පඩි ලබන නිලධාරින්ට ද මෙම ආදර්ශය පොදුය. මේ නිසා ජනතා සේවයේ යෙදෙනවා නම් කාට කාටත් වගකීම වැදගත් ය. පච වීම හෝ බොරු කීම නොවැදගත් ය.


Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *