මහින්ද ගෙදර තබා චමල් පදනම් අායතනයට

“අපට ජනාධිපතිතුමා බලන්න ඕනෑ, අපට චන්ද්‍රිකා මැඩම් බලන්න ඕනෑ’’ ඇතැම් අය කෑ ගසන්න පටන් ගත්තා. එය මහා ඝෝෂාවක් බවට පත්ව තිබුණා.

ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දුනීසියාවේ කළ සංචාරය ඉතා සාර්ථක එකක් වුණා. සමුළුව අමතා කතා කළ ජනාධිපතිතුමා කීවේ මත්ද්‍රව්‍ය මැඬලීම කලාපයේ රටවල දැවෙන අවශ්‍යතාවක් බවට පත්ව තිබෙන බවයි. මේ සඳහා කලාපයේ රටවල් සමගි වී කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. එම කතාවට කලාපීය රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්

ඉන්දුනීසියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීමටද මේ සංචාරය අතරතුර ජනාධිපතිතුමා අවස්ථාව සලසා ගත්තා. අප රට ගැන ජාත්‍යන්තරයේ යන ප්‍රචාර පිළිබඳව එරට සිටි ශ්‍රී ලාංකිකයන් විමසුවා. ජනාධිපතිතුමා කීවේ රට ගැන ‍ගෙන යන බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා කියායි.

සමුළුවට පැමිණ සිටි රාජ්‍ය නායකයින් සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද මෙම සංචාරයේදී ජනාධිපතිතුමා උත්සුක වුණා. ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්, දකුණු අප්‍රිකා ජනාධිපති ජාකොබ් සුමා, ඉන්දියාවේ උප ජනාධිපති මොහොමඩ් හමීඩ් අන්සාරි මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමටද ජනාධිපතිතුමා අවස්ථාව යොදාගත්තා. ජිනීවාහි මානව හිමිකම් සමුළුවට සහභාගී වී සිටි විදේශ ඇමැති මංගල සමරවීර මහතාද ඉන්දුනීසියාවට පැමිණ ජනාධිපතිතුමා සමඟ එක්ව සිටියා.

ජනාධිපතිතුමාගේ ඉන්දුනීසියානු සංචාරයේ අවසන් අදියර වුණේ මර්ඩොක් මන්දිරයේ පැවැති අති උත්කර්ෂවත් පිළිගැනීමයි. එහිදී ජනාධිපතිතුමා වෙනුවෙන් හමුදා උත්තමාචාර පෙළපාලියක් පැවැත්වුණු අතර ආචාර වෙඩිමුර 21ක්ද පැවැත්වූවා. මර්ඩොක් මන්දිරය දෙරටේ ධජ පතාකවලින් සරසා තිබුණා. එරටෙහි වෙසෙන විවිධ ජාතීන් නියෝජනය කරමින් විවිධ වර්ණ ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු දරු දැරියන් කොඩි වනමින් ජනාධිපතිවරයාට සුබ පැතුම් පිරිනැමුවා.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා විසින් පිළිගනු ලැබූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මන්දිරය තුළට කැඳවාගෙන ගියා. එහිදී දෙරට අතර පැවැති සාකච්ඡාවට විදේශ ඇමැති මංගල සමරවීර, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ, අධ්‍යාපන රාජ්‍ය ඇමැති ටී. එස්. රාධ ක්‍රිෂ්ණන්, ධීවර කටයුතු රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහත්වරු සහභාගී වුණා. ඉන්දුනීසියාව වෙනුවෙන්ද ඇමැතිවරුන් ගණනාවක් සාකච්ඡාවට සහභාගී වුණා. එහිදී ඇතිකරගත් එකඟත්වයක් වූයේ දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීමයි. රාජ්‍ය නායකයින් දෙදෙනා අතර ඇතිවූ මෙම එකඟතාවය අනුව කටයුතු කිරීමට දෙරටේ විදේශ ඇමැතිවරුන්ට පැවරුණා. ඉක්මනින්ම ශ්‍රී ලංකාවේ සංචාරයකට එන්නැයි ජනාධිපති සිරිසේන මහතා ඉන්දුනීසියානු ජනාධිපතිවරයාට ඇරයුම් කළා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උළෙලටද නියෝජිතයන් සහභාගී කරවීමට ඉන්දුනීසියානු ජනාධිපතිවරයා එකඟ වූණා.

ජනාධිපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල සූදානම් කර තිබු‍ණේ කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේයි. පක්ෂ මූලස්ථානයේ දෙතුන් සියයකගෙන් පිරවිය හැකි ශාලාවක උත්සවය සංවිධානය කර තිබුණද හිතුවට වඩා විශාල පිරිසක් ඊට එක්වීමෙන් සංවිධායක මණ්ඩලය දැඩි අසීරු තත්ත්වයකට පත්වුණා. අගනුවර පමණක් නොව අනුරාධපුර, පොළොනරුව, බදුල්ල, නුවරඑළිය ආදී දිස්ත්‍රික්ක ගණනාවකින් කාන්තාවන් ඊට එක්වී සිටියා. සාමාජිකාවන්ගේ පැමිණීමත් සමඟින් පස්වැනි මහලට ඇතුළු කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවීමෙන් ඇතැම් කාන්තාවන් සංවිධායකාවන්ට දොස් පැවරීමටත් පසුබට උනේ නැහැ. “අපට ජනාධිපතිතුමා බලන්න ඕනෑ. අපට චන්ද්‍රිකා මැඩම් බලන්න ඕනෑ “ඇතැම් අය කෑ ගසන්න පටන් ගත්තා. එය මහා ඝෝෂාවක් බවට පත්ව තිබුණා. අවසානයේ සිව්වෙනි හා තෙවැනි දෙවැනි මහල්වල පවා කාන්තා සාමාජිකාවන් යැවීමට සංවිධායක මණ්ඩලයට සිදු වුණා. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනි කාන්තාදින උළෙලට එක් වුණේ නියමිත වේලාවටත් පෙරාතුවයි. එයට කාන්තාවන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා .

ජනාධිපති මෛත්‍රී උත්සවයට පැමිණෙනු දුටු කාන්තාවන් නැගී සිට “ජනාධිපතිතුමාට ජයවේවා“ කියමින් ප්‍රීති ඝෝෂා කළා. ප්‍රියමනාප සිහිනහවකින් මුව සරසා ගනිමින් උත්සවයට පැමිණි මෛත්‍රී ජනාධිපතිට කාන්තාවන් පත්ව සිටින තත්ත්වය අවබෝධ වුණා. ශ්‍රීලනිපය තම කාන්තා ශක්තිය පිළිබඳ නිසි ලෙස තේරුම් ගෙන නැතැයි පිරිස දෙස බලමින් මෛත්‍රී කියා සිටියා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා උදෑසනින්ම පැලවත්තේ පිහිටි කොළඹ ඕවසීස් විදුහලේ පැවති එක්සත් ජාතීන්ගේ ආදර්ශ සැසියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූණා. ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින විදේශිකයින් බොහෝ දෙනෙකුගේ දූ දරුවන් ශ්‍රී ලාංකික දූ දරුවන් සමග මෙම පාසලේ අධ්‍යාපනය ලබනවා. එහිදි අගමැති වික්‍රමසිංහ මහතා දරුවන්ට ලබා දුන්නේ වැදගත් පණිවිඩයක්. අපි අපේ ආගම, ජාතිය ගැන ආඩම්බර විය යුතුයි. වෙනත් අයට දෙවැනි විය යුතු නැහැ. නමුත් අනෙකාගේ ආගමට සහ ජාතියට ගෞරව කළ යුතුයි. එ් තුළින් ජාතික එකමුතුකම සහ ජාතික සංහිඳියාව ඇති වෙනවා යැයි අගමැතිවරයා පැවසුවා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ බිරිය හේමා ප්‍රේමදාස මහත්මියද එම පාසලේ ආදි ශිෂ්‍යාවක වන ඇයගේ දියණිය දුලාංජලී සහ ඇගේ සැමියාද එක් වී සිටියා. ඕවර්සීස් විදුහලේ උත්සවය ආරම්භ වුණේ උදේ 7.30ටයි. එය අවසන් වූ වහාම වික්‍රමසිංහ මහතා අලුත්කඩේ පිහිටි ශ්‍රී ලංකා නීතීඥ සංගම් ශ්‍රවණාගාරයේ පැවති ජාතික නීතී සතියේ සමාරම්භක උළෙලට පැමිණියා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සුජීව ‍සේනසිංහ, නව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහත්වරුන් ඇතුළු විනිසුරුවරුන් සහ නීතී ක්ෂේත්‍රයේ පිරිසක් සහභාගි වී සිටි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහතාද සුජීව සේනසිංහ මහතා අසලින් වාඩි වී සිටියා. අගවිනිසුරු ඩෙප් මහතා දිව්රුම් දීමෙන් පසුව සහභාගි වූ ප්‍රථම නිල කටයුත්ත මෙයයි.

මෙහිදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මීට වසර දෙකකට පෙර පැවති පාලන ක්‍රමය යටතේ දේශපාලන ක්‍රියාවලිය අධිකරණ පද්ධතියට ඉහළින් තිබුණු බවත් එම දේශපාලන අතපෙවීම් මගින් අධිකරණ පද්ධතියට වූ හානිය පිළිසකර කිරීමට පසුගිය වසර දෙකේදී රජයට සිදු වූ බවත්ය. පැවති ක්‍රමය යටතේ අධිකරණය කෙරෙහි ජනතාව තුළ තිබු විශ්වාසය පළුදු වී තිබු බව පැවසු වික්‍රමසිංහ මහතා යළි එම විශ්වාසය ඇති කිරීමට රජයට හැකි වු බවද පෙන්වා දුන්නා.

පස්වැනි ඉරිදා හවස්වරුවේ අගමැතිවරයා සිටියේ කෑගල්ලේයි. කෑගල්ල ශාන්ත මරියා විදුහලේ 150 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති වන්-ෆයිව්-සීරෝ අධ්‍යාපන ප්‍රදර්ශනය හා සැමරුම් උත්සවයේ අවසන් දිනයට එක් වූ අගමැතිවරයා ප්‍රදර්ශනය නැරඹීමටද එක් වුණා. එහිදි රියදුරෙකු ‍නොමැති ස්වයංක්‍රීය වාහනයක් හැසිරවූ අගමැතිවරයා ප්‍රදර්ශනයේ තබා තිබූ රොබෝ තාක්ෂණයෙන් නිර්මාණය කර තිබූ නිමැවුමක් ක්‍රියාත්මක කළේ ඒ සඳහා මුහුණේ පැලඳිය යුතු ආවරණයක්ද පැලඳගෙනයි.

උත්සව සභාව අමතමින් අගමැතිවරයා සඳහන් කළේ පාසල් දරුවන් අතර වසරක් පාසා රොබෝ තාක්ෂණ නිර්මාණ තරගාවලියක් පැවත්වීමට තමා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට උපදෙස් දුන් බවත් එම අදහස තමාට ඇති වුණේ එම ප්‍රදර්ශනයේ තබා තිබු ‍රොබෝ නිර්මාණ දැකීමෙන් බවයි.

08 දා හවස අග්‍රාමාත්‍යවරයා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ තුනපහ අවන්හල විවෘත කිරීමේ අවස්ථාවට එක් වුණේ බිරිය මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියද සමගයි. එදින පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීමෙන් අනතුරුව හවස් යාමයේ උත්සවයකට ගැලපෙන සේ තද අළු පාට සිල්ක් කමිසයකින් වික්‍රමසිංහ මහතා සැරසී සිටියා. සම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර පාන සැපයෙන තුනපහ අවන්හලේ විවෘත කිරීමේ අවස්ථාව පැවැතුණේද සාම්ප්‍රදායික ක්‍රමවේදයකට අනුවයි. ගෘහණියන් කමතට ඇඹුල ගෙන ආ ආකාරය පිළිඹිබු කරමින් පන් වට්ටිවල දමාගත් සිංහල ක්‍රමයට සැකසුණු ආහාර, රෙදි හැට්ට හැඳ ගත් තරුණියන් ‍අමුත්තන් සිටි මේසවලට රැගෙන ආවා.

එහිදි සභාව ඇමතූ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වොටර්ස් ඒජ් හෝටලයේ සභාපති චමත් ද සිල්වා මහත්වරුන් පැවසුවේ 2016 වසරේදි වෝටර්ස් ඒජ් හෝටලය පෙර වසරට වඩා සියයට හතලිහක ලාභාංශ ලැබූ බවයි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පැවරුණු 21 වන උදාගම්මානය වන කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර “වීදියබණ්ඩාරගම” විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිතයා වූයේ ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යවරයාය. පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා සහ අගලවත්ත එජාප ප්‍රධාන සංවිධායක හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී පී. ඩී. අබේරත්න එහි සිටි සෙසු ප්‍රධාන චරිත දෙක වුණා. එහිදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ජනතා සේවාවන් සිහිපත් කරමින් කථා කළ ගයන්ත මෙසේ කීවා. “සජිත් ‍ප්‍රේමදාස ඇමතිතුමා එක්ක වැඩ කරන එක ලේසි නෑ. රෑ 1ට විතර දුරකථනය නාද වුණොත් මං දන්නවා කාගෙන්ද කියලා. නින්ද යන්නෙ නැති ලෙඩකුත් එතුමාට තියෙනවා. වැඩ කරන්නමයි ඉපදිලා තිබෙන්නේ. ‘කොහොමද අර උදාගමේ වැඩ කියලා’ ඇහුවම නිදිමතේ මමත් මොකක් හරි කියනවා. ඒ ගමන කියනවා ‘නෑ නෑ එතන ගෙවල් 25න් 15යි හදල තියෙන්නේ. වහල මට්ටමේ තවම 2යි, කපරාරු මෙච්චරයි කියලා. දැන් වාර්තා අතේ තියාගෙන තමයි පිළිතුරු දෙන්න වෙලා තියෙන්නේ. ඒ තරමට ප්‍රායෝගිකයි යනුවෙනි.

ජනහමුව පැවැත්වෙන අතර තමන් වෙත ලිපියක් භාර දීම සඳහා වේදිකාවට නැඟීමට තැත් කරන ක්‍රීඩා ඇඳුමින් සැරසුණු දියණියක් සහ ඇගේ පියා දුටු සජිත් ඔවුන් තමන් වෙත ගෙන්වා ගත්තා. දුර පැනීමෙන් ජාතික මට්ටමේ දස්කම් දක්වා ඇති ඒ දියණිය වාද්දුව, තල්පිටියේ ලක්ෂණී සාරංගී සිල්වා යි. ඇයට තිබුණු ගැටලුව නම්, නේවාසිකව සිටිමින් අගනුවරදී පැවැත්වෙන පුහුණු කටයුතුවලට සහභාගී වීමට පැවති බාධකයයි. සජිත් ඒ මොහොතේම තීරණය කළේ මෙම ක්‍රීඩිකාව වෙතද අඟුලානේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 45ක් වටිනා නිවසක් ලබාදීමටයි.

සිය මුහුණු පොතේ මිතුරන් කීප දෙනෙකුම සජිත් වෙත දන්වා තිබුණේ එහිම පළ වී තිබූ ඉතා සංවේදී පුවතකි. එනම්, ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවය කරමින් සිටියදී යුද ජයග්‍රහණයට දින කීපයක් පමණක් ඉතිරිව තිබියදී පුදුමාතලන්හිදී කොටි ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ අති දක්ෂ ස්නයිපර් ප්‍රහාරකයෙකු ලෙස නම් දරා සිටි “නීරෝ” හෙවත් කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරිගේ මවට ජීවත්වීමට නිවසක් නොමැතිවීම ගැනයි. සජිත් ඒ මොහොතේම කතා කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඩී. වී. ප්‍රියදර්ශන පුත්තලම් දිස්ත්‍රික් කළමනාකාරවරයාටය. “මට මේ අම්ම ගැන වහාම විස්තර හොයල එයා ඉන්න තැනක ඉඳන් දුරකථනයට සම්බන්ධ කර දෙන්න” සජිත්ගේ නියෝගය පරිදි ප්‍රියදර්ශන පල්ලම, ඉහළ මණ්ඩලාන පදිංචි හැටහත් හැවිරිදි වර්ණකුලසූරිය කහවගේ රීටා ප්‍රනාන්දු මාතාව සොයා ගියා. එහි සිට සිය ඇමතිවරයා දුරකථනයට සම්බන්ධ කළා. එහිදී සජිත් කීවේ “අම්ම ගැන මට තොරතුරු ලැබුණා. පදිංචි වෙලා ඉන්න ඉඩමට නීති ප්‍රශ්නයක් තිබෙනවා නේද? මම අම්මට ඉන්න සුදුසු තැනකින් ගෙයක් හදලා දෙන්නම්”. කියාය. ඒ අනුව වසර 18ක් හමුදා සේවයේ නිරතව සිටිමින් “නීරෝ” හෙවත් කෝප්‍රල් රංජිත් ‍ප්‍රේමසිරි රට වෙනුවෙන් ඉටු කර ඇති සේවාවට කෘතවේදීත්වය පළ කරමින් ඔහුගේ අසරණ මවට ආනමඩුව ගම් උදා භූමියේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටසක නිවසක් ඉදිකර දීමට සජිත් තීරණය කළා.

පසුගිය 07වෙනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය කෝප් සභාවට කැඳවා තිබුණා. එහිදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව විමර්ශනය කිරීමට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, කළමනාකරණ පීඨයේ පීඨාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් කමිටුව හමුවට ආවා. එහි විශේෂත්වයක් වූයේ කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විශ්වවිද්‍යාලයේ සිටියදී ඔහුට අධ්‍යාපනය ලබාදුන් ආචාර්යවරුන් සහ ඔහු සමඟ අධ්‍යාපනය ලබා මේ වනවිට විශ්වවිද්‍යාල සේවයේ සිටින පිරිසකගෙන් විමර්ශනය සඳහා කරුණු විමසීමට සිදුවීමයි. ”මම ඉගෙන ගත්තු අයගෙන්ම මට ප්‍රශ්න කරන්න වෙලා තියෙනවා අද. ඔබතුමාලා අපිට උගන්වපු කරුණු මත තමයි අද මේ විදියට ප්‍රශ්න කරන්න දැනුම ලැබුණේ. ඒ වගේම මාත් එක්ක ඉගෙන ගත්ත පිරිසකුත් අද විශ්වවිද්‍යාල සේවයේ ඉන්නවා. ඒ ගැනත් සතුටුයි. අපි හැමෝම මේ විමර්ශනයට එකතු වුණු එක විශේෂත්වයක්ම තමයි” කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කීවා.

මැලේසියාවේ පැවැති ධනාත්මක චින්තනය පිළිබඳ අධ්‍යාපන වැඩමුළුවක් සඳහා කාර්යාල කාර්ය සහයකයන් සහ රියැදුරන් පිරිසක් යවා ඇති බව විමර්ශනවලදී හෙළි වුණා. රියදුරන්ට කාර්යාල කාර්ය සහකයින්ට අධ්‍යාපන වැඩමුළු කරන එක හොඳයි. නමුත් ධනාත්මක චින්තනය වගේ දේවල් ලංකාවේදීත් කරන්න පුළුවන්. මේවට අනවශ්‍ය විදියට මුදල් වියදම් කරන එක තමයි ගැටලූව වෙලා තියෙන්නේ.” කෝප් සභාපතිවරයා කියා සිටියා.

විශ්වවිද්‍යාල බලධාරීන් එම කරුණු පිළිගත් අතර දෙපාර්ශවය අතර සුහදව කරුණු සාකච්ඡා වුණා. මේ අතර විශ්වවිද්‍යාලයේ ඇතැම් පීඨවලට පුරප්පාඩු තිබියදී ළමුන් ඇතුළත් කර නොගැනීම පිළිබඳවත් සාකච්ඡා වුණා.

දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය 08වෙනිදා පාර්ලිමේන්තුවේදී විනය විරෝධීව හැසිරීම නිසා ඔහුගේ පාර්ලිමේන්තු සේවය දින හතකට තහනම් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කළා. මේ සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමට ඡන්දය දීමෙන් වැළකී සිටීමට ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කළා. මේ සිදුවීම වනවිට ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා කාන්තා දිනය නිමිත්තෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය මගින් සංවිධානය කළ අයිතීන් දිනන කාන්තා බලයක් නැමැති සම්මන්ත්‍රණයේ දේශනයක් සඳහා සහභාගි වී සිටියා. මේ සම්න්ධයෙන් ප්‍රවෘත්ති පළවීමත් සමඟ සිය දේශනයෙන් පසු ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා විජිත හේරත් මන්ත්‍රීවරයා අමතා සිදුවීම පිළිබඳ විමසා සිටියා. ”මොකක්ද මේ පාර්ලිමේන්තුවේ කලබලය. අපි ඡන්දෙන් වැළකී සිටියා කියලා තිබුණා. මොකක්ද සිදුවුණේ” ටිල්වින් සිල්වා විමසා සිටියා. ”කතානායකවරයාගේ තීරණයකට විරෝධය පළකරමින් දෛනික කටයුතුවලට බාධා කරපු නිසා දිනේෂ් ගුණවර්ධනට සභාවාරය තහනම් කළා. නමුත් ඔහු සභාවෙන් පිටවුණේ නැහැ. මේ නිසා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනාවක් ගෙනාවා දිනේෂ් ගුණවර්ධනගේ පාර්ලිමේන්තු සේවය සතියකට තහනම් කරන්න. ඒකට ඡන්දයක් කැඳෙව්වා. ඕනෑම මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට ගරු කළ යුතුයි. කතානායකවරයා දෙන තීන්දු අනුගමනය කළ යුතුයි. නමුත් තීන්දු ක්‍රියාත්මක නොකළ නිසා ඊට එහා ගිහින් තවත් තීන්දුවක් ගන්න එක වැරදියි. කරන්න ඕන මුලින් ගත්ත තීන්දුව ක්‍රියාත්මක කරන එකයි. වෙන වෙන තීන්දු ගන්න එක වැරදි පූර්වාදර්ශයක්. ඒ නිසා අපි ඡන්දෙන් වැළකී සිටියා. දිනේෂ් ගුණවර්ධන කරපු දේත් වැරදියි. ආණ්ඩුව මේ වගේ තීරණ ගන්න එකත් වැරදියි.” විජිත හේරත් ඡන්දෙන් වැළකී සිටීමට හේතුව විස්තර කළා.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ හා සමස්ත ලංකා කාරක සභාවේ රැස්වීම කාගේත් අවධානයට ලක්වුණා. එයට මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ උදවියටද ආරාධනාකොට තිබුණත් ඔවුන් නොඑන බව දැනුම් දී තිබුණ. ඒකාබද්ධ විපක්ෂයේ උදවිය මෙම රැස්වීම වර්ජනය කිරීමට තීරණයකොට තිබියදී රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වන චමල් රාජපක්ෂ මහතා රැස්වීමට පැමිණීම කාගේත් අවධානයට හා කතාබහට ලක් වූ සිදුවීමක් වුණා. එහිදී චමල් රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අසුනට යාබද අසුනක සිටීමද අවධානයට ලක් වූ තවත් කාරණයක්.

ඒකාබද්ධ විපක්ෂය සමඟ එකට කටයුතු කළද චමල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේ හැසිරුණේ තරමක් වෙනස් ආකාරයෙන්. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහිව විරෝධතාවල නිරතව සිටියදී චමල් රාජපක්ෂ මහතා කළේ ඉඩම් ප්‍රශ්නය ගැන මහජනයා හා ආණ්ඩුව අතර සංවාදයක් ඇරඹීමට කටයුතු කිරීමයි. හම්බන්තොට සංවර්ධනයට විරුද්ධ නොවිය යුතුය යන්න ඒ මහතාගේ අදහස වී තිබුණා. මෙම හැසිරීමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමට සහභාගිවීමත් නිසා “චමල් පිරිසත් සමඟ ආණ්ඩුවට යන බවට කට කතාවක්ද පැතිරී යමින් තිබුණා.

එලෙස චමල් රාජපක්ෂ මහතාගේ හැසිරීම පිළිබඳව සැක සංකා මතුව තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයැවීමෙන් පැවැති ‘වියත් මග’ සමුළුවටද චමල් රාජපක්ෂ මහතා සහභාගි වුණා. එය සංවිධානය කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ වැඩ සටහනක් වශයෙන්.

කුමාර වෙල්ගම මහතාගේ දේශපාලන ජීවිතයට වසර 35ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් අගලවත්තේදී පැවැත්වුණේ පසුගිය ඉරිදායි. රෝහිත අභයගුණවර්ධන මහතා විසින් සංවිධානයකොට තිබුණු එම රැළියටද චමල් රාජපක්ෂ මහතා සහභාගීවුණා. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද එයට සහභාගී වී සිටියා. කෙසේ වෙතත් කාගේත් අවධානය දිනා ගත්තේ චමල් රාජපක්ෂ මහතාගේ පැමිණීමයි. එහිදී කුමාර වෙල්ගම මහතා කීවේ චමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවට එකතුවනවාද කියා තම පාක්ෂිකයන් අසන නිසා චමල්ගේ පැමිණීම වැදගත් බවයි.

දෙමළ ජාතික සංධානය තුළ ගැටුම බරපතළ තත්ත්වයකට පත්ව ඇති බව පසුගියදා වාර්තා වුණා. එයට හේතුවී ඇත්තේ ජිනීවා මානව හිමිකම් සමුළුවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සනින් යවා ඇතැයි කියන ලිපියක්. ජිනීවා යෝජනා ඉටුකිරීමට ආණ්ඩුවට තවත් කල් නොදිය යුතු බවට ඉල්ලා එම ලිපිය යවා ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් දහ දෙනකුගේ අත්සන් යොදා බව දැන ගන්න ලැබුණා. නායකත්වයේ අනුමැතියකින් තොර එම ලිපියට තමන් අත්සන් නොකළ බව මන්ත්‍රීවරුන් තිදෙනකු නායකත්වයට දන්වා තිබෙනවා. ඥාන මුත්තු ශ්‍රීනේෂන්, ශාන්ති ශ්‍රී කාන්තරාජා සහ කවීන්දිරන් කෝඩිස්වරන් මන්ත්‍රීවරුන් මේ බව පක්ෂ නායක සම්බන්ධන් මහතාට දැනුම් දී තිබෙනවා. එයින් පෙනී ගොස් ඇත්තේ අදාළ ලිපියට ව්‍යාජ අත්සන් යොදා තිබෙන බවයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මහතාත් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ.සුමන්දිරන් මහතාත් ඇතුළු බලගතු කණ්ඩායම ක්‍රියාත්මක වී ඉන්නේ ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කරමින් දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳා ගැනීමටයි. එසේ වුවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා වැනි දැඩි මතධාරීන් කියන්නේ ආණ්ඩුව තම ජනතාව රවටා ඇති බවයි. මෙය දැන් ගැටුමක් ලෙස පුපුරා යන තත්ත්වයට පත්වෙලා තිබෙන බව පැහැදිලියි..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *