රනිල්ට එරෙහි රත්නපුර විරෝධතාව පුස්සක් වෙයි – සභාපතිවරුන් පත්කිරීමේදී මෛත්‍රීට නැති කොන්දේසි එජාපයට දැමීම ගැන විරෝධයක්
පසුගිය සතිඅන්තයේ ජනපති මෛත්‍රී අගමැති රනිල් හා විපක්ෂ නායක මහින්ද එකම තැනක හමුවූ විශේෂ අවස්ථාවක් යෙදින. ඒ භාතිය සන්තුෂ්ගේ සංගීත දිවියට විසිවසරක් පිරීම නිමිත්තෙන් නෙළුම්පොකුණ රගහලේ පැවැති ප්‍රසංගයේදීය. යාබද අසුන් තුනක තිදෙනා වාඩිවී සිටියද ආගිය තොරතුරු වලට අදාල වචන කිහිපයක් මිසෙක දේශපාලනය, ආර්ථිකය, ජාත්‍යන්තරය හෝ ව්‍යවස්ථාව පිළිබඳව වචනයක් හෝ එහිදී හුවමාරු නොවින.
තෛපෝංගල් දිනය පැවැති 15දා ඊට අදාළ නිල උත්සවය පැවැතියේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී අගමැති රනිල් හා දෙමළසංධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙනි. දෙමළ සංස්කෘතිකාංග හා සංගීතය හා ගායනා රැසකින් මෙන්ම අගමැති හා දෙමළසංධාන නායකයන්ගේ විශේෂ දේශන දෙකකින්ද එය සමන්විත විය. මැතිඇමතිවරු, රාජ්‍ය නිළධාරීන්, තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්විය.
බ්‍රහස්පතින්දා හිමිදිරියේම අගමැතිවරයා රත්නපුරයට ගියේ එහි මහරෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කිරීමේ උත්සවයට හා සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨය සිසු අයිතියට පත්කිරීමටය. ඒ සියල්ලටත් පෙර රත්නපුර මහ සමන් දේවාලයට ගිය අගමැතිවරයා ආගමික වතාවත් වලින් එදින කටයුතු ආරම්භ කළේය. අනතුරුව සබරගමු විශ්වවිද්‍යාලයට ගිය අගමැති රනිල් මෙරට ස්ථාපිත කළ හත්වැනි වෛද්‍ය පීඨයද සිසු අයිතියට පත්කළේය. අගමැතිවරයා ගිය හෙලිකොප්ටරය ගොඩබෑවේ රත්නපුර සීවලී ක්රීඩාංගනයටය. විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල උසිගැන්වීම මත වෛද්‍ය පීඨය විවෘත කරන අවස්ථාව සිසුන් ලවා කඩාකප්පල් කිරීමට දින කිහිපයක සිට සැළසුම් තිබුණු බව අගමැති ආරක්ෂක අංශ තොරතුරු ලබාගෙන තිබිණ. කෙසේවෙතත් වෛද්‍ය පීඨය විවෘතකළ අගමැතිවරයාට යලිත් කොළඹ පැමිණීම සඳහා හෙලිකොප්ටරය ගුවන්ගත්කිරීම වැලැක්වීම සඳහා තිබූ සැලැස්ම අනුව සිසු කණ්ඩායම් රත්නපුර සීවලී ක්‍රීඩාංගනයට ගියද ඔවුන්ගේ සියලු උත්සහයන් බිඳ දමා අගමැතිවරයා යලි කොළඹ පැමිණෙන හෙලිකොප්ටරය සූක්ෂමව කුරුවිටින් අහසට එසවීමට අගමැති ආරක්ෂකයින් සැලසුම්කොට තිබිණ. ඒ තුල සීවලී ක්‍රීඩාංගනය වටලා හෙලිකොප්ටරය ගුවන්ගත කිරීම වැලැක්වීමට සිසුන් ගත් උත්සාහය අසාර්ථක වූයේ ඔවුන්ට ගමන් විඩාව සහ දහඩිය පමණක් ඉතිරි කරමිනි. මේ රජය පත්වූ පසු ලක්ෂ්මන් කිරිඇල්ල උසස් අධ්‍යාපන ඇමතිවරයාව සිටියදී වෛද්‍ය විද්‍යාල තුනක් අලුතෙන් පිහිටුවීමට තීරණය කළ අතර සභරගමුව විශ්වවිද්‍යාලයට අනියුක්තව විවෘත වූයේ එහි පළමුවැන්නය. සෙසු වෛද්‍ය විද්‍යාල දෙක කටුබැද්ද හා වයඹ විශ්වවිද්‍යාල වලට අනියුක්තව නොබෝ දිනකින්ම විවෘත වීමට නියමිතය.
කුරුවිට සිට කොළඹ පැමිණි අගමැතිවරයා නිවසට ගොස් දිවා ආහාර රැගෙන කෙලින්ම ආවේ අරලියගහ මැදුරටය. ඒ සවස් වරුවේ යොදාගෙන තිබූ රාජකාරි හා සාකච්ඡා සඳහා එක්වීමටය. රත්නපුර සිද්ධිය සැලවූ මැතිඇමතිවරු රැසක්ද ඒ වනවිට අරලියගහ මැදුරට පැමිණ තිබිණ.
“සයිටම් වෛද්‍ය විද්‍යාලය වහන්න පෙළපාලි ගිය සිසුන් දැන් රජයේ වෛද්‍ය විද්‍යාල අරින එකටත් විරෝධය දක්වනවා. මේ සිසුන්ගේ අරමුණ හා ඔවුන් නොමග යවන්නේ කවුදැයි කියන එක දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැතිටය.
“සිසුන් සුළු පිරිසක් තමයි අනවශ්‍ය ලෙස විරෝධය පළකලේ. උද්ගෝෂන නිසා රටේ කටයුතු අඩාල කරන්න බෑ. හෙලිකොප්ටරය උදේ කුරුවිට ඉස්කෝලෙ පිට්ටනියට නොබැස්සුවේ ඒ පාසලේ ලමයින්ට බාධාවෙන නිසයි. හවස හෙලිකොප්ටරය එතෙන්ට බැස්සුවේ ඉස්කෝලෙ ඉවරවෙලා තිබුණු නිසයි. රූපවාහිනී චැනල් 2ක් සිසුන් එක්ක කතාකරගෙන රත්නපුරේ බස්සපු හෙලිකොප්ටරයට මට නගින්න නොදෙන්න කරන උත්සහය වීඩියෝ කරන්න කැමරා ජාලයක්ම දාල තිබුණා කියලත් ආරංචියි. ඔවුන්ගේ පටු උපක්‍රමය ව්‍යර්ථ වීම ගැන මට කණගාටුයි” අගමැතිවරයා කීවේ උස් හඩින් සිනාසෙමිනි.
“සංස්ථා මණ්ඩල සභාපති හා අධ්‍යක්ෂකවරුන්ගේ නම් එජාපය පරක්කු කරනවා කියල ජනාධිපතිතුමා කිව්වා. උගත්කම වගේම ප්රායෝගිකත්වයත් ආයතන පාලනයට අත්‍යවශ්‍යයි” දයා ගමගේ කීවේ එවැන්නකි.
“ජනාධිපතිතුමා උත්සාහකරේ ඉන්න සභාපතිල ගලවල දාල එජාපය ඇතුලෙ තව අර්බුදයක් හදන්නයි. අපි ඒකට අහුවෙන්න නරකයි. ජනපති ලඟදී පත්කරපු ආණ්ඩුකාරවරු හා ලබාදීපු ඉහල තනතුරු වලට උපාධිය අදාළ නොවෙනවද කියල අපි හරිනම් අහන්න ඕනෑ” චමින්ද විජේසිරි දැඩි ප්‍රහාරයක් දියත්කළේය.
“ඔක්තෝබර් 26 දා ජනපතියි රාජපක්ෂලයි එකතුවෙලා හදපු හොර ආණ්ඩුවේ තනතුරුවලට පත්කිරීමේදී උපාධිය හෙව්වෙ නැත්තෙ ඇයි කියල එජාපය එතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕන” හේෂා විතානගේ කීවේය.
“ඒ නම් ලයිස්තු ඉක්මනින් යවන්න ඕන. ඇමතිලාගෙනුත් පොඩි ප්‍රමාදයක් ඇතිවුණා. සභාපතිලයි මුලින්ම පත්කරන්න ඕනෙ. මුලින් පත්වීම් කරල ඊටපස්සෙ ලයිස්තුව එවන්නයි ජනපතිගෙ දැන් ස්ථාවරයයි” අගමැතිවරයා පැහැදිලි කළේය.
“ගෝඨාභය ඇමරිකානු පුරවැසිකම අත්හැරියා කියල අලිබොරුවක් මේ දවස්වල ප්‍රචාරය කරනවා. ඇමරිකන් පුරවැසිකම ගන්නවටත් වඩා ඉවත්කරගන්න ඉතා අමාරුයි. ගෝඨාභයට අපේක්ෂකත්වය දෙන්නේ නෑ කියලා මහින්ද ඔහුට කියල තියනවා කියල ආරංචියි. බැසිල් පලාත්පාලනය දිනන කාලෙ ගෝඨා හිටියෙ පිටරට. ඒ නිසා ගෝඨා බැසිල් චමල් අපේක්ෂකත්වයට තාම පොරකනවලු” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
“මහින්දට අගමැතිකමයි ආණ්ඩුවයි දීල ජනපති පොහොට්ටු ජනපති අපේක්ෂකත්වය ගන්න උත්සාහ කළා. එතුමා රැවටුනා කියල දැන් ශ්‍රීලනිප අයම චෝදනා කරනවා” රන්ජන් රාමනායක කීවේ එවැන්නකි.
“මහින්දට දැන් ශ්රීලනිපය හෝ මෛත්‍රී වැඩක් නෑ. අගමැතිකම ගත්ත ගමන්ම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තෙ ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයො දාන්න නෙවෙයි. පොහොට්ටුව ප්‍රමෝට් කරන්නයි. මහින්ද උපක්රමශීලීව එයා මොකුත් නොකර ගෝඨා බැසිල් ඇතුළු කට්ටියටම අපේක්ෂකත්වය නොදී ඉදීමේ සැලසුමකුත් තිබෙනබව ආරංචියි” රන්ජන් රාමනායක කීය.
“ලංකා ඉතිහාසයේ ලොකුම ණය වාරිකය ලෙස ඩොලර් දශලක්ෂ දෙදහස් හයසියයක් ඒ ඒ අයට ගෙවීම තුල ලංකාව ගැන විශාල පැහැදීමක් ජාත්‍යන්තරයේ ඇතිවෙලා. අපි ආර්ථිකය හරිහැටි මෙහෙයවන බවට ඒක උදාහරණයක්” නවීන් දිසානායක කී දේ සියලුදෙනා අනුමත කළහ.
“බුදුදහමට උතුරේ ලොකුතැනක් දෙන්න බෑ කියල ජනාධිපති පත්කරපු අලුත් ආණ්ඩුකාරයා කීම ගැන ශ්රීලනිපය හා පොහොට්ටුව සද්ද නෑ.” චමින්ද විජේසිරි කීවේය.
“ජනාධිපතිතුමා පළාත්සභා ඡන්ද ගැන කතාකළත් ඔක්තෝබර් 26 කුමන්ත්රණයෙන් පස්සෙ ශ්රීලනිපය හා පොහොට්ටුව ඡන්දවලට යටින් බයවෙලා ඉන්නෙ කියලයි ආරංචි” රංජිත් අලුවිහාරේ කීවේය.
“සේනා දළබුවා මාර ව්‍යසනයක්, හොර ආණ්ඩුව කාලේ රට ආරාජිකව තිබූ නිසා දළබුවා රටට රිංගන්න ඇති කියලත් මතයක් තියනවා” හේෂා විතානගේ කීවේ එවැන්නකි.
“මාධ්‍ය ආයතන ඉස්සරහ කට්ටියක් ගිහිල්ලා මුහුණු බැඳගෙන විරෝධතා දානවා. සංදේශ භාරදෙනවා. මේක අපේ වැඩක් නෙවෙයි. අපි කරනවනම් මුහුණ බඳින්නෙත් නෑ. ඒ අය නීතිය කැඩුවනම් පොලීසියට යන්න තිබුණා. එහෙම නොකර මට ගහලා වැඩක් නෑ. විරෝධතා කරන්න වැඩිම නිදහස දුන්නේ මේ ආණ්ඩුවයි. සමහර ජනමාධ්‍ය වලට දැන් ඒකත් අමතකවෙලා” අගමැති රනිල් කතාව නිමකළේය.
