මීළඟ ජනාධිපතිවරණයට තරඟ කරන්න මෛත්‍රිපාල සිරිසේන මහත්තය එකඟ වෙලා නෑ – එස්.බී. දිසානායක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ පිරිසක් හිටියා බොහොම අමාරුවෙන් තමයි අපි එළියට ගත්තෙ. ආණ්ඩුවෙ ඇමතිකම් තියාගෙන දිගටම ඉන්න ඕන කම තිබ්බ ගණනාවක් හිටියා. ඉන්න බැරි තැන එළියට එනකොට මේ අය සටන් පාඨ දෙකක් ගෙනාවා. පක්ෂයෙන් යූ.එන්.පි. යට යන අයට දඬුවම් කරනව නම් පොහොට්ටුවට යන අයටත් දඬුවම් කරන්න. දෙවෙන එක තමයි මහින්ද රාජපක්ෂ අපිට පොරොන්දුවක් දෙන්න ඕන ඊළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රිපාල කියල. ඒ මෛත්‍රිපාල ජනාධිපතිවරයා නැත්තටම නැති කරල දාන්න. ඒකත් බැරි වෙලා, එළියට ආපු කීපදෙනෙක් ඉන්නවා අපේ අපේක්ෂකයා මෛත්‍රි, අපේ අපේක්ෂකයා මෛත්‍රි කියල කියනව. මේක කලබල වෙන්න දෙයක් නෑ. අපේ පක්ෂයේ අයට කියන කැමතියි ඒක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමයි, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමයි, දිනේෂ් ගුණවර්ධන වගේ අනෙක් පක්ෂවල නායකයොයි එකතුවෙලා වෙලාවට තීන්දුවක් ගනී.
එහෙම කරපුවාම පොදු ජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රිවරු කලබල වෙනව. නෑ… නෑ… අපි පොහොට්ටුවෙ එක්කෙනෙක් දානව කියල කලබල වෙලා මෙතන මහා අවුලකට යනව. අපට තියෙන ප්‍රධානම කාර්යභාරය යූ.එන්.පී. විරෝධී දේශප්‍රේමි වමේ පෙරමුණක් හැදීමයි. ඒ වෙනුවෙන් කැපවෙමු. ඒ වෙනුවෙන් පරිත්‍යාග කරමු. ඒ වෙනුවෙන් අපේ ආසන අපිට දෙන්න වෙයි. කැප වුණාම අපේ මන්ත්රිකම් නැති වෙයි.
අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව යෝජනාවක් ගෙනල්ලා තියනව ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහත්තය කියල. ඒකට තවමත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා එකඟ වෙලත් නැහැ. එනවා කියලත් නැහැ. හා කියලත් නෑ.
එස්.බී. දිසානායක මහතා එසේ ප්‍රකාශකළේ අද (17) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය. එහි දී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරමින් අසා සිටියේ,
ඔබතුමාලට විශ්වාසද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රිපාල සිරිසේන මහත්තයගෙ අපේක්ෂකත්වය තහවුරු කරයි කියල?
අපිට ඒක වැදගත් නෑ. ඔබතුමාලට ඒක වැදගත් වුණාට අපිට ඒක වැදගත් නෑ. අපිට මෛත්‍රි ද, ගෝඨා ද, චමල් ද එන්නෙ කියන එක වැදගත් නෑ. ඒ අය ගන්න තීන්දුවත් එක්ක අපි යනව.
