කිත් නොයාර්ට පහරදුන් තිදෙනෙක් අල්ලයි

මාධ්‍යවේදී කිත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධියට අදාළව යුධ හමුදාවේ තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තිමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් ඔවුන් ඊයේ   (18) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර යුධ හමුදාවේ මේජර්වරයෙකු ඇතුළු තිදෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ද නේෂන් පුවත්පතේආරක්‍ෂක පුවත් වාර්තාකරු ලෙස කටයුතු කළ කීත් නොයාර් මහතා 2008 වසරේ මාර්තු මාසයේදි කාර්යාලයේ සිට නිවස බලා මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී කිසියම් පිරිසක් විසින් දෙහිවල සිය නිවස ආසන්නයේදී පැහැරගෙන ගොස් පහරදී නිවස අසලට ගෙනවිත් දමා ගොස් තිබුණි.

පසුගිය රාජපක්ෂ පාලන කාලයේදී අප රටේ මාධ්‍යවේදීන් ඝාතනය වීම් හා පහරදීම්වලදී රටේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් බලවත් විවේචන පැන නැගුණි. “සන්ඩේ ලීඩර්” ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, “ද නේෂන්” පුවත්පතේ ආරක්‍ෂක පුවත් වාර්තාකරු කීත් නොයාර්, “රිවිර” ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන්, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ නාමල් පෙරේරා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් පෝද්දල ජයන්ත යන මාධ්‍යවේදීන්ට එල්ල වූ මැර ප්‍රහාරවලදී නීතිය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව සමස්‌ත මාධ්‍යවේදීන්ගේ පමණක්‌ නොව පොදු ජනතාවගේ ද බලවත් අප්‍රසාදය ආණ්‌ඩුව වෙත එල්ල විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *