අන්තවාදයට යට වූ අධ්‍යාපනය – වසන්ත ප්‍රිය රාමනායක
‘සයිටම්’ අර්බුදය ඇසුරින් හෝ පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳ රජයේ පිළිවෙත නිරවුල්ව ප්‍රකාශයට පත් විය යුතුය. මේ වන විට දැන ගැනීමට තිබෙන්නේ රජයේ වෛද්‍ය සභාව ද මේවා සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සකසා නොමැති බවයි. නැතිනම් වෛද්‍ය සභාවට ද වෛද්‍ය විද්‍යාලයක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය ක්‍රමවේද මොනවාදැයි ප්‍රකාශයට පත් කළ නොහැකි මට්ටමක පසුවන බවයි.
මේ වනවිට ලොව පුරාම වාමාංශික අන්තවාදය සේවය කරන්නේ විවිධ ධනේශ්වර පාලකයන්ගේ අවශ්‍යතා උදෙසා ය. වත්මන් ලොවේ සාර්ථකම ගරිල්ලා ව්‍යාපාරය ලෙසින් ගැනෙන කොළොම්බියානු ‘පාක් ගරිල්ලන්’ පවා සිය අන්තවාදී පිළිවෙත අතහැර කොලොම්බියානු රජය සමඟ සාම සාකච්ඡා පිළිවෙතකට අවතීර්ණ වී සිටිති. ඊට හේතුව නූතන ලෝකයේ ප්රජාතන්ත්රවාදී පිළිවෙතකින් මෙහා තම ප්‍රශ්නවලට විසඳුම් සොයා ගත නොහැකි බවත් එසේ නොවන්නේ නම් සිදු වන්නේ තමන්ටත්, රටටත්, විනාශයක් බවත් මේ වනවිට ඔවුහු තේරුම් ගනිමින් සිටීමයි.
පාක් ගරිල්ලන්ට සන්නද්ධ ව්‍යාපාරයක් ලෙසින් කළ නොහැකි වූ දේ රට රටවල වෙසෙන විවිධ අන්තවාදී කණ්ඩායම්වලට කළ හැකි යැයි විශ්වාස කළ හැකිවන්නේ රටතොට ගැන අවබෝධයක් නොමැති සුළු පිරිසකට පමණි. මේ නිසා විවිධ රටවල සිටින අන්තවාමාංශික කණ්ඩායම් අද ක්‍රියාත්මක වෙමින් පවතින්නේ රාජ්‍ය බලය ලබා ගැනීම උදෙසා නොව රාජ්‍යයන් අස්ථාවර කිරීමේ හෝ බලයෙන් පහ වූ අයට නැවත බලය ලබා දීමේ කොන්ත්‍රාත් වෙනුවෙන් වාගේ ය. මේ සඳහා ඔවුනට තම පැවැත්ම වෙනුවෙන් ආර්ථික ප්රතිලාභ ලැබීම ද බැහැර කළ නොහැකි සත්‍යයකි.
අන්තවාදී හොල්මන්
ශ්‍රී ලංකාවේ ද මෙවන් අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වීමට පටන්ගෙන තිබුණේ අද ඊයේ නොවේ. තවමත් එවන් කණ්ඩායම් හොල්මන් කරන බව පෙනේ. පාර්ලිමේන්තු, පළාත් සභා, බලය කෙසේ වෙතත් දේශපාලන පක්ෂ ලෙසින් ද ලියාපදිංචි වී සිටින මෙවන් පක්ෂ අඩුගානේ ප්‍රාදේශීය සභාවක නගර සභාවකවත් අසුනක් දිනා ගැනීමට උනන්දු වන්නේ නැත. ඔවුනට අවශ්‍ය වී තිබෙන්නේ කුමන හෝ අයුරකින් පවතින පාලනය පෙරළා දැමීමේ කොන්ත්‍රාත්තුව ඉටු කිරීමටය. වත්මන් පාලනය බිඳ වැටුණොත් බලයට පත් වන කණ්ඩායම පැහැදිලි ය. එසේ නම් විශ්වවිද්‍යාල සිසුන් බිල්ලට ගනිමින් ඔවුන් වෙනුවෙන් පණ දීමට සූදානම් වෙනවාය යැයි හඟවන මේ අන්තවාදය සේවය කරන්නේ කාට දැයි පැහැදිලි ය.
‘සයිටම්’ ප්රශ්නයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වුව ද කල්පනා කර බැලිය යුත්තේ තම වෘත්තීය සංවිධානය හැම මොහොතකම විශ්වවිද්‍යාල සිසුන් පාරට ගන්නා මෙවන් අන්තවාදයක ගොදුරක් බවට පත් වෙමින් යනවාද යන්නය. වාර්ෂිකව මේ රටේ විශ්වවිද්‍යල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන සිසු ප්‍රජාව ලක්ෂය ඉක්මවයි. 2013 – 2014 වර්ෂයේ මේ සඳහා 144861ක් සුදුසුකම් ලබා තිබුණි. මින් රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ පහසුකම් ඇත්තේ 24198 දෙනෙකුටය. එහෙත් ඉතිරි පිරිස අදක්ෂයෝ නොවෙති. එහෙත් මේ සියල්ලටම උපාධි ලබා ගැනීම උදෙසා විශ්වවිද්‍යාල පහසුකම් දියව් කියමින් සිසු ප්‍රජාව පාරට ගැනීම අන්තවාදී ය. දැන් එම සටන් පාඨය ද පසුගාමී ය.
මේ වන විට සිදු වෙමින් පවතින්නේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි එ් සඳහා සුදුසුකම් ලබන පිරිස රජයට සම්බන්ධ වෙනත් ආයතන තුළ හා දේශීය හා විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යොමු වීමයි. එ් සඳහා ඇති හැකි පමණට මුදල් වැය කිරීමට මෙම සිසු සිසුවියන්ගේ මවුපියෝ පෙළඹී සිටිති. දේශීය වශයෙන් පෞද්ගලික මට්ටමින් උපාධියක් ලබා ගැනීමට නම් අදාළ උපාධි ප්‍රධාන ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමෙන් අනුමැතියක් ලබා ගත යුතු ය. මෙලෙසින් විදේශ විශ්වවිද්‍යාලවලට අනුබද්ධිතව හෝ එසේ නොමැතිව විවිධ විෂයන් සම්බන්ධයෙන් උපාධි ප්රදානය කරනු ලබන ආයතන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ. සයිටම් ආයතනයේ ම සිවිල් ඉංජිනේරු පීඨයෙන් මේ වන විට උපාධිධාරීන් 400ක් පමණ බිහි කර ඇත. ඔවුහු දේශීය හා විදේශීය වශයෙන් විවිධ ආයතනවල සේවය කරති. ඔවුන්ගේ ප්‍රමිතිය පිළිබඳ මෙතෙක් ප්‍රශ්නයක් පැන නැඟී නැත. වෛද්‍යවරුයෙකුගේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක දී මියැදෙන්නේ එක් රෝගියකු නම් සිවිල් ඉංජිනේරුවරයෙකුගේ ප්‍රමිතිය නිසා ගොඩනැගිල්ලක් කඩා වැටී සිය ගනණක් මිය යෑමට වුව ද ඉඩ තිබේ. මේ නිසා වෛද්‍යවරයෙකුගේ ප්‍රමිතිය සම්බන්යෙන් සොයා නොබැලිය යුතුයි මින් අදහස් නොවේ.
වෛද්‍යවරයෙකුගේ ප්‍රමිතිය පිළිබඳ ප්රශ්නය අතිශයින්ම සංවේදීමෙන් ම සොයා බැලිය යුතු කරුණකි. එ් පිළිබඳව විවාදයක් නැත. මේ සම්බන්ධයෙන් අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ සියයට සියක් එකඟ ය. වැදගත් වන්නේ ඔවුන් එ් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්රමවේදයයි.
අද පෞද්ගලික අධ්‍යාපනය යන්න එතරම් කලබල විය යුතු කරුණක් නොවේ. එය සාමාන්‍ය තත්ත්වයකි. මින් තහවුරු වී තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය මෙන් ම අධ්‍යාපනයේ නිදහසයි. මෙවන් පසුබිමක විදේශීය අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් උදෙසා වසරකට රටේ මුදල් රුපියල් බිලියන 2ක පමණ ඩොලර් බවට පරිවර්තනය වෙමින් රටින් පිටතට ඇදේ. මෙය අර්බුදකාරී ලෙසින් මේ මොහොතේ අපේ ආර්ථිකයට තදින් දැනෙන්නට පටන් ගෙන තිබේ. ඊට හේතුව වර්තමානයේ ශ්‍රී ලංකාව ණය අර්බුදයක පසුවන නිසා ය. එහෙත් අධ්‍යාපනය උදෙසා එය දරා ගැනීමට ද අපට සිදු වේ.
කොතලාවලට නැති විරෝධතා
මේ අතර වර්තමානයේ දේශීය වශයෙන් වෛද්‍ය උපාධි පිරිනමන ආයතනයක් ලෙසින් ‘සයිටම්’ ආයතනය හා කොතලාවල ආරක්ෂක ඇකඩමිය ක්‍රියාත්මක වේ. මේ ආයතන දෙකෙන් ම ලබාගන්නා වෛද්‍ය උපාධියේ මුදල්මය වටිනාකම විදේශීය රටකට අපේ විදේශ විනිමය වැය කර ලබා ගන්නා උපාධියට වඩා බෙහෙවින් ම අඩු ය. එය තහනම් කිරීමෙන් මේ රටේ ධනපතියන්ගේ දරුවන්ට නම් ප්‍රශ්නයක් ඇති නොවේ. ඊට හේතුව මිලියන ගණනින් රටේ මුදල් පිටරට යවා ඉගැන්විය හැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනෑ තරම් තිබෙන නිසා ය.
දේශීය වශයෙන් ‘සයිටම්’ ආයතනය වුවද මේ සඳහා අය කරනු ලබන මුදල සාධාරණ යැයි මින් අදහස් නොවේ. එහෙත් එහි ඉගෙන ගනු ලබන අඩු ආදායම්ලාභී මවුපියන් ගේ දරුවන්ට යම් ප්‍රතිශතය ශිෂ්‍යත්ව ප්රදානය කිරීමට සුදානම් නම්, එම මුදලේ වුව ද යම් සාධාරණයක් තිබේ. දැන් එ් සඳහා ද එකඟතාවයක් ඇති වී තිබෙන අතර දැනටමත් එවන් ශිෂ්‍ය ශිෂ්‍යවන් සයිටම් හි අධ්‍යාපනය ලබති. ‘සයිටම්’ හා කොතලාවල හමුදා ඇකඩමියේ වෛද්‍ය එ්කකය යන දෙකම පසුගිය රජයේ රජයේ නිර්මාණයකි. පසුගිය රාජපක්ෂ පාලනය ‘සයිටම්’ ආයතනයට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු රෝහල බිහි කිරීම සඳහා ආයෝජන මණ්ඩලය ව්‍යාපෘතියක් ලෙසින් රුපියල් මිලියන 600ක පොලී රහිත ණය මුදලක් ප්රදානය කිරීමට හා තවත් ආයෝජන මණ්ඩල පහසුකම් රැසක් පිරිනැමීමටත් කටයුතු කර තිබුණි. මීට අමතරව හිටපු ජනාධිපතිවරයාගේ අතින්ම සයිටම් ආයතනයට ශිෂ්‍යත්ව 10ක් ප්රදානය කරනු ලබන්නේ 2013 මාර්තු 28 වැනිදාය. මේ අතර ‘සයිටම්’ වෛද්‍ය උපාධියක් පිරිනැමීමට සුදුසු ආයතනයක් ලෙසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම මගින් පිළිගනු ලබන්නේ 2011.08.30 දා ය.
‘සයිටම්’ පිළිගැනීම සම්බන්ධයෙන් එදා සිටි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කරන්නේ සයිටම් සම්බන්ධයෙන් කළ විධිමත් සොයා බැලීම් තුනකින් පසු මේ පිළිගැනීම සිදු කළ බවයි. මේ සම්බන්ධයෙන් එදා සිටි විශ්වවිද්‍ය පීඨවල පීඨාධිපතිවරු සියලූ දෙනාම ඊට අනුමැතිය ලබා දුන් බව ද ඔහු පවසයි. ඇමතිවරයා මෙම ප්‍රකාශය කළේ වත්මන් ‘සයිටම්’ අර්බුදය සමඟිනි. එහෙත් මේ වන විටත් එදා සිටි කිසිදු පීඨාධිපතිවරයෙක් මෙම ප්‍රකාශයට අභියෝගයක් කර නැත.
රාජපක්ෂ යුගයේ ‘සයිටම්’ ආයතන පිළිගෙන එය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් පැවැති අතර කිසිවෙක් අද මෙන් ඊට එරෙහි වූයේ නැත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මෙන් පාරට බැස්සේවත් වර්ජන තර්ජන රජයට එල්ල කළේවත් නැත. එසේ නම් අද මේ සියල්ල යහපාලනය යටතේ ය. මේ අතර ‘සයිටම්’ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය සභාවේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ ද විවිධ සොයා බැලීම් සිදු විය. එදා රජයේ වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා මහතා වුවද සඳහන් කර තිබුණේ අඩු පාඩු සදා ගැනීමේ පදනම යටතේ තාවකාලික මට්ටමින් හෝ සයිටම් ආයතනයේ උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන බවයි. එහෙත් අද ඔහු එසේ සඳහන් කරන්නේ නැත. දැන් හෙතෙම උසාවි තීන්දුවට ද අභියෝග කරන බව පෙනේ.
විරෝධතාවට හේතු දැක්වීම
මෙහි දී සමාජය තුළ හා උද්ඝෝෂණවල යෙදෙන අය මතු කරන කාරණා කීපයක් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් ය. ඉන් වැදගත් කරුණක් වන්නේ මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මූලික අවම සුදුසුකම්වත් සපුරා තිබේ ද යන්නයි. එ් සම්බන්ධයෙන් සයිටම් ආයතනය සහතික වේ. වත්මන් තෝරා ගැනීම් කර ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජිතයෙකුගේ ද සහභාගිත්වයෙනි. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එය පිළිගන්නා බවක් නොපෙනේ. ඔවුනට එ් ගැන සැකයක් ඇත. මේ සම්බන්ධයෙන් ‘සයිටම්’ ආයතනය සහතික වන්නේ එස් 3 නොව සී 1යි එස් 2යි ඔවුන්ගේ බඳවා ගැනීමේ අවම සුදුසු කම බවයි. මේ අතර ඉසෙඩ්කෝ ලකුණු ක්‍රමයට යටතේ එස් 3 සහිත සිසුන් පවා රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලබන බව පවසති.
දෙවැන්න පාඨමාලාව හා ගුරුවරුන්ගේ මට්ටමයි. මේ වන විට ‘සයිටම්’ මහාචාර්ය එ්කකය රජයේ විශ්වවිද්‍යාලවල උගන්වන හා උගන්වා පළපුරුද්දක් ඇති මහාචාර්යවරුන් 14 දෙනෙකුගෙන් සමන්විත බව ඔවුහු පවසති. එම මහාචාර්යවරුන්ම මාධ්‍යයට පවසන ආකාරයට ඉගැන්වීමේ, විභාග පැවැත්වීමේ හා පාඨමාලාවේ ස්වරූපය රජයේ විශ්වවිද්‍යාලවලට වඩා වෙනසක් නොමැති බව පෙනේ. එහෙත් විදේශීය වශයෙන් ඉගෙනුම ලබන සිසුන්ගේ එම වෙනස දක්නට ලැබෙන බව ද ඔවුහු පවසති. මොන පදනමක් යටතේ හෝ වෛද්‍ය සභාව මගින් පවත්වනු ලබන විභාගයෙන් ඔවුන් (විදේශීය සිසුන්) සමත් වන්නේ නම් එ් අයට වෛද්‍ය සභාවේ ලියා පදිංචිය ලැබේ. එහෙත් එම විභාගයට පෙනී සිටීමට ‘සයිටම්’ ආයතයේ අපේ රටේ ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එම අවස්ථාව ලබාදීම වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරයි. මේ නිසා ‘සයිටම්’ ආයතනයට උසාවි යෑමට සිදු විය. උසාවියේ තීන්දුව පැහැදිලිය.
රජයේ රෝහල්වලින් පහසුකම් ලැබීම
මේ අතර ‘සයිටම්’ සම්බන්ධයෙන් පැන නැඟී ඇති සුදුසුකම් පිළිබඳ ප්රශ්නය, පාඨමාලාවේ ස්වරූපය ආචාර්ය මණ්ඩලයේ සංයුතිය පරීක්ෂා කර බැලිය හැකි ය. දැනට එය හොඳ මට්ටමක පවතින බව පැවසේ. එය කොතරම් හොඳද යත් එක් මහාචාර්යවරයෙක්වත් නොමැති මඩකලපුව රජයේ වෛද්‍ය පීඨයට හා එක් මහාචාර්යවරයෙක් පමණක් උගන්වනු ලබන යාපනය වෛද්‍ය පීඨයට වඩා යහපත් බව දැන ගැනීමට තිබේ.
මෙහි ඇති ප්‍රධාන ප්රශ්නය වන්නේ සායනික පුහුණුව නිසි අයුරින් ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වීමයි. සයිටම් උපාධිධාරීන්ට එ් පිළිබඳ ප්‍රශ්නයක් තිබේ. එය කෙළින් ම රෝගීන්ගේ ජීවිත හා සම්බන්ධය. මේ වන විට එ් සම්බන්ධයෙන් ද අධිකරණ තීන්දුවක් තිබේ. එහි සඳහන් වන්නේ මීට රජයේ රෝහල් මැදිහත් කරගත යුතු බවයි. මේ රටේ රජයේ රෝහල් නඩත්තු වන්නේ රටේ පුරවැසියන් බදු ගෙවනු ලබන මහජන මුදලින් නම් එම රෝහල්වලින් පෞද්ගලික අධ්‍යාපනයක් ලබන පුරවැසියෙකුගේ දරුවෙකුට මුදල් ගෙවීමකින් අනතුරුව වුව ද පහසුකම් ලබා ගැනීම මූලික අයිතියකි. එම අයිතිය වෙනුවෙන් ද මේ වන විට අධිකරණ තීන්දුවක් ද ලැබී තිබේ. ඊට අදාළ රජයේ පිළිවෙත ද පැහැදිලියි.
දැනට මතු වී ඇති ‘සයිටම්’ අර්බුදය ඇසුරින් හෝ පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳ රජයේ පිළිවෙත නිරවුල් ව ප්‍රකාශයට පත් විය යුතුය. මේ වන විට දැන ගැනීමට තිබෙන්නේ රජයේ වෛද්‍ය සභාව ද මේවා සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සකසා නොමැති බවයි. නැතිනම් වෛද්‍ය සභාවට ද වෛද්‍ය විද්‍යාලයක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය ක්‍රමවේද මොනවාදැයි ප්‍රකාශයට පත් කළ නොහැකි මට්ටමක පසුවන බවයි.
‘සයිටම්’ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කිරීමට යෝජනා වී ඇති විශේෂ කමිටුව වැදගත් වන්නේ මෙවන් පසුබිමකය. දැනටමත් ‘සයිටම්’ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අංශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් යෝජනාවලියක් සකස් කර තිබේ. ජනාධිපති කමිටුවට එ් සම්බන්ධයෙන් ද අධ්‍යයනයක යෙදිය හැකිය.
මේ වන විට අන්තවාදීව බලය උදෙසා පමණක් සටන් වදින අවස්ථාවාදී දේශපාලඥයන් අතට පත් ව ඇති ‘සයිටම්’ අර්බුදය විශේෂ ජනාධිපති කමිටුවක නිර්දේශ පදනම් කරගත් රාජ්‍ය මැදිහත් වීමකින් විසඳා ගැනීමේ අවශ්‍යතාවයක් මතු වෙමින් පවතී. ‘සයිටම්’ අරගලය හරහා හෝ මේ රටේ පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳ රජයේ පිළිවෙත ඍජුව ප්‍රකාශයට පත් වන්නේ නම් එය ජයග්‍රහණයක් වන්නේ ය.
Email Facebook Twitter Google+ Pinterest PrintFriendly Share

