පවුල් ලක්ෂ විස්සකට ඉඩම් අයිතිය දීම ජනවාරියේ ඇරඹෙයි

සිය ඉඩම්වල පුර්ණ හිමිකම නැති පවුල් ලක්ෂ විස්සකට හිමිකම් ලබාදීමේ වැඩ සටහන ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට රජය කටයුතු කොට ඇත ..

එහි මුල් පියවර ලෙස  පුද්ගලයින් 10,000 කට රජයේ ඉඩම්වල පූර්ණ අයිතිය ලබන වසරේ ජනවාරි මාසයේදී ලබාදීමට රජය පියවර ගෙන තිබේ. එම වැඩ පිළිවෙළ වසර කිහිපයකින් නිම කිරීමට නියමිත ය.

මෙලෙස සින්නක්කර ඉඩම් අයිතිය ජනතාවට ලබා දෙන්නේ  2024 අයවැයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ය.  1897 දී සම්මත කරන ලද මුඩුබිම් ආඥාපනත යටතේ බ්‍රිතාන්‍ය රජය විසින් රට පුරා ග්‍රාමීය ඉඩම් අක්කර දහස් ගණනක් අත්පත් කර ගන්නා ලදී. ඉන්පසුව 1935 දී ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බලපත්‍ර ක්‍රමය යටතේ එම ඉඩම් කට්ටි ගොවීන් අතර බෙදා දෙන ලදී. නමුත් වසර 100ක් පමණ ගතවී ඇතත් මෙම ඉඩම්වල අයිතිය එම ඉඩම්වල හිමිකරුවන් වූ ගොවීන්ට සහ අනෙකුත් පුද්ගලයන්ට නැවත පවරා දී නොමැත.

බි‍්‍රතාන්‍ය යටත් විජිත සමයේ පාරම්පරික ඉඩම්වල අයිතිය අහිමි වූ ගොවීන් වෙත රජය ඉඩම් ලබාදීමට කටයුතු කරන බව 2024 අයවැයෙන් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජනවාරි මාසයේ ආරම්භ වන එම කාර්යය තවත් වසර කිහිපයක් ඇතුළත අවසන් කර ඉඩම් සහ ගොවිබිම් අයිතිය පවුල් ලක්ෂ 20කට හිමිකර දීමට නියමිත ය. දෙසැම්බර් 11 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් මෙම වැඩසටහන අනුමත කරන ලදී.

දැනටමත් අයැදුම් කර ඇති අයට හිමිකම් ඔප්පු ලබන ජනවාරි මස නිකුත් කෙරේ.

මෙම ක්‍රියාවලිය සඳහා දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලවල, අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලවල සහ අන්තර් පළාත් සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලවල ‘උරුමය ඒකක’ ස්ථාපිත කෙරේ.

මේ පිළිබඳව රජයේ ආයතන දැනුවත් කරන ලෙස ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *