දුෂ්කරයි, ඒත්, ජයගත හැකියි – මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ශ්‍රී ලංකා ආර්ථිකයේ මූලික දුර්වලතා දෙකක් තමන් විසින් හැඳිනගෙන ඇතැයි ඉන් මිදීමට පුළුල් ජාතික වැඩපිළිවෙළක් හඳුන්වාදී ඇතැයිද මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි.

අයවැය හිඟය සහ වෙළෙඳ හිඟය ඉහළ යෑම මේ ප්‍රධාන දුර්වලතා දෙක බවද අධිපතිවරයා සඳහන් කරයි.

මේ ප්‍රධාන දුර්වලතා දුරු කිරීම ඇතුළු ආර්ථිකයේ මැදි කාලීන ජයග්‍රහණ අත්කර ගන්නා සැලසුම වනුයේ කෘෂිකර්මය, යටිතල පහසුකම්, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගන්වා නව නිෂ්පාදන සහ වෙළෙඳාම දියුණු කිරීම බවද ආචාර්ය කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේය.

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ නව ව්‍යවසායකයින් දිරිමත් කිරීමට අවශ්‍යතරම් ප්‍රාග්ධනය සැපැයීමට ඉදිරි කාලයේ වැඩි වශයෙන් බැංකු ණය ලබාදෙන බවද අධිපතිවරයා කීය.

රජයේ ආදායම් ලැබීම් වසර 2015 සිට ක්‍රමිකව වැඩි වීම යහපත් තත්ත්වයක් බව කී අධිපතිවරයා එමෙන්ම විදේශ වෙළෙඳාමෙන්ද රට වාසි අත්කරගත යුතුව ඇතැයි කීය.

ඒ සඳහා රජය හැකි තරම් අපනයන දිරි ගන්වන නීතිරීති, බදු නිදහස් කිරීම්, ජී.එස්.පී + වැනි වරණීය වෙළෙඳ නිදහස් කිරීම් ඔස්සේ කැඳවන සහන උපරිමයෙන් ලබාදීමට සූදානම් බවද කුමාරස්වාමි මහතා කීය.

ශ්‍රී ලංකාවේ මුල්‍ය අංශයේ තිරසාරභාවය ආරක්ෂා කිරීමට දැනට වඩා දැඩි නීතිරීති ඉදිරියේදී හඳුන්වාදෙන බවද අධිපතිවරයා කීය.

විනිමය පාලන නීතිරීති, බලපත්‍රලාභී බැංකු පද්ධතියේ පාලන නීතිරීති, දැඩි කිරීම හා බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණය කිරීමේ මහ බැංකුව සතු බලතල තවදුරටත් වැඩි කිරීම සිදු කරනු ලැබේ.

අයවැය හිඟය, උද්ධමනය තනි ඉලක්කමකට රඳවා ගැනීම රජයේ නව ආර්ථික වැඩපිළිවෙළේ මූලික අරමුණයි. ඒ අතරම පොදු ජනතාවට වැඩි වැඩියෙන් නව ව්‍යාපාර ඇරඹීමට මුදල් සැපැයීම ද සිදු කරනු ලැබේ.

රටේ තෝරාගත් ප්‍රදේශවල දෙස් විදෙස් ඍජු විදේශ ආයෝජන හරහා නව කාර්මිකකරණයක් ව්‍යාප්ත කිරීමට ද දැනටමත් පියවර ගනිමින් සිටින බව අධිපතිවරයා කීය.

ලෝක වෙළෙඳාමෙහි සිදුවන මන්දගාමී වර්ධනය, දේශීය වශයෙන් එල්ල වන ස්වභාවික විපත්වලින් සිදුවන පීඩා ඇතුළු බොහෝ කරුණු කාරණා මෙරට ආර්ථිකය ඉදිරියට රැගෙනයෑමේදී මුහුණු දීමට සිදු ව තිබෙන බාධා බවද අධිපතිවරයා සඳහන් කෙළේය.

ජයසිරි මුණසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *