ජොකියා ආවත් දුවන්න වන්නේ පරණ අශ්වයා එක්කමයි – එස්. එම්. ලිය­නගේ

බොරවූ දියේ මාළු බාන්න සූදානම් වූ ඇතැම් කල්ලි කණ්ඩායම් වැඩේ හමාර කරන්න හැදුවේ, තවදුරටත් ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වලංගු නොවන බව කියමින්ය. පාර්ලිමේන්තුවෙන් පිට විකල්ප පාලනයක් ගැන පවා ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කෙරිණ.

රේස් එක දිනන්න නම්, ජොකියා මාරු කරන්නම ඕන. ඒකට ඉක්මනින් ඡන්දයක් ඕන’’ දවසේ ආරම්භයේ සිට අවසන් වන තුරුත් පසු දිනත්, ඒ ආකාරයට ගෙවෙන හැම දවසකම විපක්ෂයේ අඳෝනාව ඒකය.

‘එතකොට අශ්වයා?’

ඒ විපක්ෂය උත්තර නොදී මඟ හැර යන ප්‍රශ්නයයි.

‘විපක්ෂය ඒ ප්‍රශ්නයට උත්තර නොදෙන්නේ ඔවුන් උගුරට හොරා බෙහෙත් බොන්න’ අපේක්ෂාවෙන් කටයුතු කරන නිසාය. නමුත්, රට පවතින තත්ත්වය විමසීමේදී පෙනී යන්නේ මොන ජොකියා ආවත් දුවන්න වන්නේ මේ අශ්වයා සමඟ බවය. එනම් හෙට කවුරු බලයට පැමිණියත් මේ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුහුණදී සිටින අභියෝගය භාරගන්න සිදුවීම අනිවාර්යයක් වන බවය. අප කොතරම් ප්‍රතිකේෂ්ප කළත්, මඟ හැර යන්න උත්සාහ කළත්, ඇත්ත කතාව ඒකය. ඒ බව තේරුම් ගන්න මේ වනවිට විපක්ෂයේ උදවිය කොහෙත්ම සිහිපත් කරනවාට විරුද්ධ පසුගිය කෙටි ඉතිහාසය මතක් කර ගැනීමත් ප්‍රමාණවත්ය.

අතීතය

පසුගිය වසරේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදීමට මෙරටට සිදු විය. දිනකට පැය 14 – 15ක් විදුලිය කප්පාදු කිරීමට සිදු විය. කර්මාන්ත ශාලා වැසී ගියේය. රැකියා අහිමි විය. නැත්නම් ලද සොච්චම් වැටුපට තට්ටු විය. අතේ සල්ලි තිබුණත් අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳ පොළේ හිඟ විය. කීයක් හරි හම්බ කර ගන්න එළියට බහිනවා වෙනුවට ජනතාවට සිදු වූයේ පෝලිම්වල තපින්නය. හෙටක් ගැන බලාපොරොත්තුවක් තබා ගැනීමත් පිස්සුවක් විය. හෙටක් කෙසේ වෙතත් වේලක් හැර වේලක් කෑමත් නැතිවුණ පසුබිමේ ඇති හැකි අය රටින් පිටවිය. එන්න එන්නම තත්ත්වය බරපතළ ද විය. කවදාවත් නොමැති ලෙස මධ්‍යම පංතිය පවා පාරට බැස එවකට පාලනයෙන් ගේම ඉල්ලුවේ ද ඒ නිසාය. පැවති ආණ්ඩුවට එරෙහිව දියත්වූ සාමකාමී අරගලය ප්‍රචණ්ඩ විය. ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අරගලකරුවන් අතට පත්විය. රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින්ම අකර්මණ්‍ය විය.

එසේ බොරවූ දියේ මාළු බාන්න සූදානම් වූ ඇතැම් කල්ලි කණ්ඩායම් වැඩේ හමාර කරන්න හැදුවේ, තවදුරටත් ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වලංගු නොවන බව කියමින්ය. පාර්ලිමේන්තුවෙන් පිට විකල්ප පාලනයක් ගැන පවා ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කෙරිණ. හතර දෙසින් පෙන්නුම් කෙරුණේ දරුණු ආර්ථික අර්බුදයක් මැද දැඩි ප්‍රචණ්ඩත්වයක් සහ දිග්ගැස්සෙන අරාජිකත්වයක්ය.

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටේ ඉන්නත් බැරි වූ අතර, ඔහු ජීවිතය බේරගත්තේ රටින් පිටුවහල් වෙමින්ය. ඊට පෙර ඔහු එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසුරවා අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂයට ආරාධනා කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කිහිප වතාවක්ම අග්‍රාමාත්‍ය ධුරය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කළත් ඔහු එය මඟහැර පලා ගියේය. මිලියන 22ක ජනතාවගේ ඉරණම මුළුමනින්ම ඛේදවාචකයක් වීමට හැම අතින්ම තත්ත්වයන් සම්පූර්ණ විය. ඒ මොහොතේ නොසිටියේම අභියෝගය භාර ගන්න කිසිදු වගකිවයුතු දේශපාලනඥයෙක්ය.

පසමිතුරු කඳවුර

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එවකට පාර්ලිමේන්තුවේ සිටියේ එක් මන්ත්‍රී ධුරයක් සහිත විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙසය. අවසානයේ මිලියන 22 ජනතාවගේ ඉරණම ඛේදවාචකයක් නොවීමේ වගකීම භාරගන්න සිටියේ ද ඔහු පමණය.

ඔහු ඒ මොහොතේ භාරගත් අභියෝගය පැහැදිලි දේශපාලන අභියෝගයක්ය. කවුරු මොනවා කළත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිහඬව තමන් භාරගත් අභියෝගයට කර දුන්නේය. පෝලිම් යුගය අවසන් කළේය. මාස කිහිපයක් යන තැන රට දෙපයින් සිටුවා, රට ගොඩදාන්න මේ මොහොතේ මෙරට සිටින එකම දේශපාලනඥයා තමන් බව ක්‍රියාවෙන් ඔප්පු කළේය. දැන් මොන අඩුව තිබුණත් මිලියන 22ක ජනතාව සැනසිල්ලේ හුස්ම ගන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ වැඩ කොටස නිසාය. රනිල්ට ඒ වැඩේ තවත් කඩිනමින් සහ වේගවත්ව සිදු කරන්න විපක්ෂයේ සහය ඉල්ලුවත් ඒ ඉල්ලීම් සියල්ල විපක්ෂය දුෂ්ට ලෙස ප්‍රතික්ෂේප කළේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස තම පසමිතුරු දේශපාලන කඳවුරේ සහයෙන් දෙපයින් සිට වූ රටේ, අද පම්පෝරි ගහන්නේ එහෙව් විපක්ෂයක්ය. ජනාධිපති රනිල්ට වෛර කරන්නේ ද එහෙව් විපක්ෂයක්ය. ඒ සියල්ල ජනාධිපති රනිල් මේ රට ගොඩදැමීම මිස අන් යමක් නොවේය.

IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ දෙවැනි වාරිකය ශ්‍රී ලංකාවට ලබා දෙන නිශ්චිත කාලයක් නොමැති බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව පියවර දෙකක් සම්පූර්ණ කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. එසේම පළමු පියවර වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉලක්ක සපුරාගත හැකි ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සමූහයකට ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර, එකඟතාවයක් ඇති විය යුතු බවත්, දෙවැනි පියවර නම් මෙරට ණය තිරසරභාවය නැවත ඇතිකර ගත හැකි බව පෙන්වා දෙන පැහැදිලි මාවතකට ශ්‍රී ලංකාව අවතීර්ණ වීම බවත් පීටර් බෲවර් පෙන්වා දුන්නේය. මෙම පියවර දෙක සම්පූර්ණ වූ පසු ඉදිරියට යා හැකි බවත් ඉන් අනතුරුව සමාලෝචන වාර්තාව සකස් කිරීමට යම් කාලයක් ගතවන බවත් එය විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට ද තවත් යම් කාලයක් ගතවන බවත් පීටර් බෲවර් එහිදී ප්‍රකාශ කළේය.

එපමණක් නොව, ශ්‍රී ලංකා රජය ලබන බදු ආදායම පිළිබඳ සෑහීමකට පත් නොවන බවත් ලෝකයේ අඩුම බදු ආදායමක් ලබන රටවලට ශ්‍රී ලංකාවද අයත් වන බවත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19ක් පමණ වන බවත් ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9ක් පමණ වන බවත් පීටර් බෲවර් පැවසුවේය. එම හිඩැස පිරවීම සඳහා ප්‍රමාණවත් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතු බවත් බදු පාලනය කිරීම සඳහා යන්ත්‍රණයක් තිබිය යුතු බවත් පීටර් බෲවර් පෙන්වා දුන්නේය. 2024 අවසාන වන විට රජයේ අාදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12 ක ප්‍රමාණයක් දක්වා වැඩිකර ගැනීම ඉලක්කය බව ද පීටර් බෲවර් ප්‍රකාශ කළේය. ලාංකිකයන්ට මතු වූ සුවිශාල අභියෝග හමුවේ සුවිශේෂ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර තිබෙන බවත්, අසීරුවෙන් වුව ද බෙහෙවින් අවශ්‍ය වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන බවත් IMF මෙහෙයුම් ප්‍රධානියා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආර්ථික සංවර්ධනය

විපක්ෂය ජනතාවට වසන් කරන ඇත්ත නම් පීටර් බෲවර්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමෙන් පසු ඇති කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව ද තම ප්‍රසාදය පළ කළ බවය. ශ්‍රී ලංකාව විසින් සියයට 70ක පමණ මට්ටමකට පත්ව තිබූ උද්ධමනය දැන් සියයට 2කට පමණ අඩුකරගෙන තිබීම සහ රටේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1.5කින් වැඩිකර ගෙන ඇති බවත් IMF නිරීක්ෂණය විය.

කෙසේ වුවද, ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් දක්නට ලැබෙන අයහපත් තත්ත්වය පිළිබඳව මෙහෙයුම් ප්‍රධානියා විසින් කරුණු ඉදිරිපත් කළේය. එහිදී විශේෂ අවධාරණය ලෙස සඳහන් වූයේ, පසුගිය මාස කිහිපය තුළ රටේ සංචිත ප්‍රමාණයේ වැඩිවීමක් සිදු නොවීමය. එසේම රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9ක් පමණක් වන විට රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19ක් පමණ වන බවත්, හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක් වීමය. ඊට අදාළ ඔවුන්ගේ යෝජනාව බදු ක්‍රමය කළමනාකරණය කිරීම වැනි පියවර අනුගමනය කළ යුතුව ඇති බවය. අභියෝගය විවෘත ය! ඉතින් හෙට මැතිවරණ එකට දහයක් තිබ්බත්, ඒ මැතිවරණ හරහා කවුරු බලය ගත්තත් පියවරක් හෝ ඉදිරියට යාමට නම් මේ IMF ඉදිරිපත් කරන කඩඉම් ජයග්‍රහණය කළ යුතුය. නමුත් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපති IMF ඉදිරියේ අසමත් බව තහවුරු කිරීමට වෛරී දේශපාලන හැසිරීමක සිටින විපක්ෂය නොකියන්නේ ද මේ කඩඉම් සමර්ථ වීමට අදාළ තමන්ගේ වැඩපිළිවෙළය. මේ වන විට ‘වෙන්ඩ ජනාධිපති’ ලා පඳුරු ගානේ රංචු ගසමින් සිටියත්, ඒ කවුරුත් නොකියන්නේම, කොපමණ අකමැති වුණත් අනිවාර්යයෙන් මුහුණදීමට සිදුවන අභියෝගයට අදාළ තමන්ගේ වැඩපිළිවෙළ කුමක්ද යන්නය.

ජනාධිපති ප්‍රතිපත්තිය

විපක්ෂය අර්බුදය විසඳීමට අදාළ අභියෝගය මඟහැර සිටියත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටින්නේ අභියෝගයට අභිමුවය. ඊට අදාළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිය පැහැදිලිය. එනම් රජයේ ආදායම් ඉහළ දැමීම සඳහා මෙරට ජනතාවට නව බදු පැනවීමක් සිදු කළ නොහැකි බවය. මේ බව රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් සමඟ මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේ දී, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රසිද්ධියේ කියා සිටියේ, රාජ්‍ය අාදායම ඉහළ නංවා ගත යුතු අතර, අාදායම් ඉලක්ක වෙත කඩිනමින් යා යුතු වුව ද, ජනතාවට නව බදු පැනවීමක් සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරය කියාය. ඒ බව අවධාරණය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පවතින ක්‍රමවේදය තුළ ආදායම් බදු නොගෙවන්නන්ගෙන් බදු අය කර ගත යුතු බවය.

මේ ආකාරයට වන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරයට අදාළ IMF ප්‍රතිචාරය වී ඇත්තේ, ‘ලංකාවට අදාළ IMF කඩඉම් සමර්ථනය කරන නිර්දේශ සඳහා එකඟ නොමැති නම් විකල්ප යෝජනා සමඟ සාකච්ඡා ඉදිරියට ගෙන යමු’ කියාය. ඊට මේ වන විටත් රනිල් වික්‍රමසිංහ පාලනය එකඟතාව පළ කර ද හමාරය. ඒ කියන්නේ විපක්ෂයට අර්බුදය විසඳන, අභියෝගය ජය ගැන්මට අදාළ විකල්ප වැඩපිළිවෙළක් නැතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැහැදිලි වැඩපිළිවෙළක් ඇති බවය. මිලියන 22ක ජනතාව ඒ ගැන විශ්වාසය තැබිය යුත්තේ මෙරට ප්‍රධාන ණය හිමියන් පවා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ ගැන විශ්වාසය තබා ඇති නිසාය. ඒ බව යළිත් තහවුරු කෙරුණේ , පසුගියදා මොරොක්කෝවේ, මරකේෂ්හී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුවක් අවස්ථාවේය. එහිදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, මෙසේ ද සඳහන් කළාය.

‘ශ්‍රී ලංකාව දුෂ්කරතාවයට මුහුණ දෙද්දි එය මැදි ආදායම් ලබන රටක්. නමුත් කොවිඩ් බලපෑම් සහ ඇතිවූ අස්ථාවරයන් හමුවේ එම තත්ත්වය පහතට වැටුණා. ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට පත්වුණා. මැදි ආදායම් රටක් වූ ශ්‍රී ලංකාව මුහුණපෑ අර්බුදය නිසා එය පොදු රාමුවක් තුළ විසඳාගත නොහැකි තත්ත්වයක් බවට පත්වුණා. ඒ නිසයි පොදු රාමුවක් තුළ මෙම අර්බුදය ආමන්ත්‍රණය කිරීමට සුදුසුකම් ලැබිය නොහැකි තත්ත්වයකට පත්වුණේ.’

Òමම සිතන්නේ අනෙක් බොහෝ ඒවාට සාපේක්ෂව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාව ලබාගන්නා විසඳුම් ඉතා යහපත් මට්ටමක පවතිනවා වගේම ඉතා වේගවත්. මම අන් අයට එරෙහිව පොදු රාමුව ගැන තීන්දුවක් ලබාදෙන්නේ නැත. නමුත් පොදුවේ අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ තවත් බොහෝ ආයතනවල එම ක්‍රම්වේදය වේගවත් විය යුතු බවට පැවැසෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ යෝජනා වඩා වේගයෙන් සිදුවෙමින් පවතිනවා.

නිර්භීත හඬ

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හා ඉන්දීය සභාපතිත්වය හිමි ලෝක බැංකුව සමග ස්වෛරීත්ව ණය සම්බන්ධයෙන් ණයහිමි කමිටු පිහිටුවීමේදී, ශ්‍රී ලංකාවේ ණය අර්බුද ගැටලුව පිළිබඳව අප සාකච්ඡා කළා. ඒ වගේම එම තත්ත්වය ඉදිරි අනාගතයේ ඕනෑම රටක් සඳහා යොදාගත හැකි ආකාරයෙන් සැලකිල්ලට ගත යුතුයි. එම ක්‍රමවේදය මඟින් ඉතා වේගවත් ලෙස විසඳුම් ලබාදෙමින් ක්‍රියාවට නැංවිය හැකි බවයි මම සිතන්නේ.’

මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් සම්බන්ධයෙන් එල්ලවූ, බටහිර රූකඩයක්, බටහිර ඒජන්තයෙක් ලෙස වන සියලු බෞතීස්මයන් බොරු කර හමාරය. තමන් යනු ශ්‍රී ලංකාව මුහුණදී සිටින අභියෝගය පමණක් නොව ඊළඟ ගෝලීය ආර්ථික අක්ෂයේ කේන්ද්‍රය වන ආසියානු – අප්‍රිකානු කලාපයේ නිර්භීත හඬ බව ද ඔප්පු කර හමාරය.

එස්. එම්. ලිය­නගේ
Dinamina

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *