ටෙලිකොම් විකිණීම ගැන සරත් වීරසේකර මහතගේ වාර්තාව කමිටු නිර්දේශයක් නොවේ !

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලිකකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට සරත් වීරසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව ඔහු විසින් පෞද්ගලිකව සකසන ලද්දක් බවත් එයට අධීක්ෂණ කමිටුවේ අනුමැතියක් නොමැති බවත්, ආණ්ඩුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

එමෙන් ම එය කිසිදු විග්‍රහයකින් තොර දේශපාලන ප්‍රකාශයක් බව ද ආණ්ඩුවේ මතය වී තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීම අනුමත නොකරන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව ක් ලෙස පාර්ලිමේන්තුවට ලියවිල්ලක් ඉදිරිපත් කරමින් සරත් වීරසේකර මන්ත්‍රීවරයා  කළ නිර්දේශය පිළිගැනීමට නොහැකි බව රජයේ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර සිටී.

ඒ සම්බන්ධයෙන් ඉදිරි තීරණය අමාත්‍ය මණ්ඩලය රැස් වී ගනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට ගැටලුවක් බැවින් එය අනුමත නොකරන ලෙස එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවට පාර්ලිමේන්තුව හමුවේ ඊයේ (9) සඳහන් කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන තිබියදී මේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තීරණයක් ලෙස ඉදිරිපත් කළ  වාර්තාව රජය කිසි සේත් නොපිළිගන්නා බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ  වාර්තාවේ පිටපතක් ඊයේ (9) දිනම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යැවීමටද ආණ්ඩු පක්ෂ කාර්යාලය පියවර ගෙන තිබිණි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් මේ වන විටත් රජයට හිමි වී ඇත්තේ 49%ක කොටසක් පමණක් බවත්, මේ තත්ත්වය යටතේ ටෙලිකොම් ආයතනයෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් වන ආකාරය ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව නැති බවත් ඒ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා වැඩි දුරටත් කීවේය.

මීට අමතරව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව තමන් නොදුටු බවට කමිටු සාමාජිකයන් ගණනාවක් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ට සැල කර තිබේ. මේ තත්ත්වය යටතේ ආංශික අධීක්ෂණ කාරක සභාවේද උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙම කාරක සභා සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *