ජනක දොට්ට දාන වාර්තාව මැතිසබයට

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහාවූ මුදල් අමාත්‍යවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කෙරිණ.
මුදල් ඇමති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මහජන උපයෝගිතා කොමිසන් සභාව මුදල් ඇමතිවරයා යටතේ ඇති ආයතනයකි.
ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ 2002 අංක 35 දරණ මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ හත් වෙනි වගන්තිය යටතේ බව සංවිධායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය. ඊට පෙර ඒ මහතාට ඇති චෝදනා ඉදිරිපත් කොට ඔහුගේ පිළිතුරු සමග වාර්තාවක් සකස් කොට තිබේ.
ලැදියාවන්ගේ ගැටුම් නොතකා පෞද්ගලික වාසි සඳහා ක්‍රියා කිරීම ඇතුළු චෝදනා ගණනාවක් ඒ මහතාට එල්ල වී තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ද රත්නායක මහතාගේ බොහෝ කටයුතු පසුගිය කාලයේදී දැඩි ලෙස විවේචනය කළේය.
කොමිසමේ සෙසු සාමාජිකයින්ගේ අදහස් නොවිමසා ඒකාධිපතියකු ලෙස ජනක රත්නායක මහතා ක්‍රියා කරන බව කියමින් එහි සාමාජිකයෝ තිදෙනෙක් පසුගිය කාලයේ ඉල්ලා අස් වුහ.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කිරීම මගින් ජනක රත්නායක මහතා තනතුරින් ඉවත් කළ හැකිය.
