වෙන කිසිම නීතියක නැති සහන ත්‍රස්ත පනතින් දීලා – ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා
ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පනත ජිනීවා මානව හිමිකම් සම්මතයන්ට අනුව සකස් කළ යුතු බවට කාලයක සිට අදහසක් තිබිණි. ඒ අනුව ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කළ අතර, පාස්කු ප්‍රහාරය නිසා එම පනත ඉදිරිපත් කිරීම කල් ගියේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ මඟ පෙන්වීම් පරිදි ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනතක් ඉදිරිපත් කර තිබේ. නව පනත පිළිබඳ විස්තරයක යෙදෙන ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා මේ ගැන මතු කරන වැරැදි තොරතුරුවලට මෙසේ උත්තර දෙයි.
බොහෝ දෙනෙක් හිතන්නේ ත්‍රස්ත විරෝධී පනත කඩිනමින් ගෙනා පනතක් විදියටයි. නමුත් එය කාලයක සිට සාකච්ඡා වූ කාරණයක් බව කියවෙනවා. මේ පනත ගෙන ඒමට බලපෑ පසුබිම පැහැදිලි කළ හැකිද?
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් හඳුන්වා දෙන බවට යහපාලන ආණ්ඩුව ජීනීවා මානව හිමිකම් සමුළුවට පොරොන්දුවක් දුන්නා. එම පොරොන්දුව පරිදි එවකට අධිකරණ ඇමැතිවරයා හැටියට කටයුතු කළ විජේදාස රාජපක්ෂ මහතා 2018දී මේ සම්බන්ධයෙන් ප්‍රතිත්‍රස්ත පනත සකස් කළා. අනතුරුව එය ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළු කළා. ඉන්පසු එය 2018 සැප් 17දා සිට ඔක් 23දා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට භාජනය වූ ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. සිසිර ආබෘ, විජිත මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු යන විනිශ්චයකාරවරු තිදෙනා විසින් ඒ පිළිබඳ ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් නිර්දේශ සලකා බලා 2018 ඔක් 23දා නිර්දේශ ප්‍රකාශ කළා. එහෙත් එය විවාදයට ගැනීමට ප්‍රථම පාස්කු ප්‍රහාරය සිදු වුණා. එම සිදුවීම නිසා පනත වෙනස් නොකළ යුතු බවට ජනතා මතයක් ඇති වුණා.
ආණ්ඩු මාරුවෙන් පසුව පත්වූ නව රජයේ විදේශ ඇමැතිවරයා වූ ජී. ඇල්. පීරිස් මහතා 2022 අංක 12 දරන පනතට යම් සංශෝධන ඇතුළු කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙහිදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට මූලික අයිතිවාසිකම් රැකෙන පරිදි යම් යම් වෙනස්කම් ඉදිරිපත්කර තිබුණා. ඒ පනත පක්ෂව ඡන්ද 86ක් හා විරුද්ධව 35ක් වශයෙන් පාර්ලිමේන්තුවේ සම්මත වුණා. මෙවැනි වැදගත් පනතක් සම්බන්ධයෙන් මන්ත්‍රීන් 104ක් කුමන හෝ අදහස් ප්‍රකාශ නොකිරීමත් විශේෂයක්. ඒ අවස්ථාවේ ත්‍රස්ත පනත සම්බන්ධ මේ කියන ආකාරයේ උද්ඝෝෂණයක් හෝ නැඟී සිටීමක් නොතිබුණ බව ඡන්දය ප්‍රකාශ වූ ආකාරයෙන් පැහැදිලි වෙනවා.
පනත සම්මත වුණත් ඉතාම භයානක වගන්ති සුරක්ෂිතව තිබුණා. ඒ නිසා අධිකරණ ඇමැතිවරයා ත්‍රස්ත විරෝධී පනතක් සකස් කිරීමට තීරණය කළා. එහිදී ප්‍රතිත්‍රස්ත පනතේ තිබුණු ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කළ, මූලික අයිතිවාසිකම්වලට විරුද්ධ නැති බවට තීරණය කළ කොටස් මෙයට ඇතුළු කර තිබෙනවා.
මේ පනතේ තිබෙන්නා වූ දේවල්වලින් සියයට 80කට වඩා වැඩි ප්‍රමාණයක් කලින් ඉදිරිපත් වූ ප්‍රතිත්‍රස්ත පනතට ඇතුළත්ව තිබුණු ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට අනුව ඉදිරිපත් කළකොටස්.
ත්‍රස්ත විරෝධී පනතේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ඉතා පුළුල් අර්ථ දැක්වීමක් කර තිබෙන බවට අදහසක් තිබෙනවා. මේ යටතේ ඕනෑම ක්‍රියාවක් කිරීම හෝ නොකිරීම ත්රස්තවාදයක් විදියට හැඳින්විය හැකිය කියන කතාව ඇත්තද?
මේ පනත ත්‍රස්ත විරෝධී පනතක්. එයින් ත්‍රස්ත විරෝධී ක්‍රියාවන් කුමක්ද කියලා අර්ථ නිරූපණය කර තිබෙනවා. ඒ වගේම ත්‍රස්ත විරෝධී ක්‍රියාවන් කවුරුන් විසින් කරන, කුමන ආකාරයේ ක්‍රියාවක් ද කියලා පළමු වගන්තියෙන් අර්ථ නිරූපණය කර තිබෙනවා.
ත්‍රස්ත ක්‍රියාවක් කියන්නේ කුමක්ද කියලා එක වාක්‍යයකින් අර්ථ නිරූපණය කරන්න බැහැ.
ලෝකයේ වෙනත් රටවල ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් මෙයට වඩා තද නීතී සකස් කළ අවස්ථා අප දැක තිබෙනවා. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අර්ථ නිරූපණ ඉදිරිපත් කරන්න ඉතාම අපහසු බව ඔවුන් කියා තිබෙනවා. ඒ නිසා ත්‍රස්තවාදී ක්‍රියාවන් මොනවාද, කුමන තත්ත්වයන් යටතේ, කවුරුන් විසින් කරන ක්‍රියාවන්ද ත්‍රස්තවාදී ක්‍රියා වන්නේ කියලා වගන්ති සඳහන් කර තිබෙනවා. මේකෙ වගන්ති වෙන වෙනම ගෙන ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් කතා කරන්න බැහැ. 2, 3, 4 කියන වගන්ති එකට කියවන්න ඕනෑ.
සමාජ ජාලා වල අදහස් ප්‍රකාශ කිරීම මේ පනත යටතේ ත්‍රස්ත ක්‍රියාවක් හැටියට අර්ථ නිරූපණය කරන්න පුළුවන්ද?
ෆේස්බුක්වල අදහස් ප්‍රකාශ කිරීම කිසිසේත්ම වරදක් වෙන්නේ නැහැ. නමුත් එම අදහස් දැක්වීම මඟින් “අන්න අතන, අර තැනැත්තාගේ ගෙදර තිබෙනවා. එකතු වෙලා ගේ ගිනි තියන්න වරෙල්ලා” කියලා යමෙක් කියනවා නම් එය වැරැදියි. කවුරු හෝ “මම මේ රජයේ ක්‍රියාවන්ට විරුද්ධයි. අපි එයට පෙළගැසී උද්ඝෝෂණය කරමු” ඒ ආකාරයේ ප්‍රකාශයක කිසි වරදක් නැහැ. නමුත් කෙනෙකුගේ ගෙයක් ගිනි තියන්න කියලා යමෙක් ප්‍රකාශ කරනවා නම් එයින් ප්‍රචණ්ඩත්වයට මුල පිරීමක් කරනවා. එවැනි ප්‍රකාශයක් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටතට ගන්න බැහැ. පසුගිය කාලේ මිනිස්සු ඒ විදියට ක්‍රියා කළේ ඒවාට නීති නොතිබුණු නිසයි.
ලිවීමේ හා භාෂණයේ නිදහස තියෙනවා කියලා අනෙකාගේ නිදහස වැළලෙන පරිදි කාටවත් ක්‍රියා කරන්න බැහැ. මූලික අයිතිවාසිකම් කියන්නේ කුමක්ද කියලා ව්‍යවස්ථාවේ අංක 14 දරන වගන්තියේ විස්තර කර තිබෙනවා. හැබැයි, හුඟක් දෙනෙක් කියන්නේ නැති අමතක කරන ව්‍යවස්ථාවක් 15 වැනි ව්‍යවස්ථාව. එයින් අනෙකාගේ, රාජ්‍යයේ ආරක්ෂාවට බාධාවක් නොවන තාක් කල් තමන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන බව දක්වා තිබෙනවා.
අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පවතින පනතේ හා යෝජිත පනතේ තත්ත්වය කොහොමද? වෙරළාරක්ෂක නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමේ බලය දීම ගැන විවේචන තිබෙනවා නේද?
පොලිස් නිලධාරීන්ට, ආරක්ෂක නිලධාරීන්ට හා වෙරළාරක්ෂක නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමේ බලය දී තිබෙනවා. මුහුද සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ වෙරළාරක්ෂක නිලධාරීන් නිසා ඔවුන්ට අනිවාර්යෙන්ම ඒ බලය දෙන්න ඕනෑ. ඔවුන්ට අත්අඩංගුවට ගැනීමේ බලය තිබුණට වෙරළාරක්ෂක නිලධාරීන්ට පරීක්ෂණවලට සහභාගී වෙන්න බැහැ. අත්අඩංගුවට ගත් පසු ඒ අයගෙන් තොරතුරු ගෙන අදාළ පොලිසියට භාර දෙන්න ඕනෑ.
සරලව කිව්වොත් ඔබේ අදහස මේ පනත කලින් ගෙනෙන ලද ප්‍රතිත්‍රස්ත පනතට වඩා ලිහිල් පනතක් බවද?
පවතින පනතේ රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාට දී තිබෙනවා. සාමාන්‍යයෙන් ආරක්ෂක ඇමැතිවරයා වෙන්නේ ජනාධිපතිවරයා. දේශපාලනඥයකුගේ හිතු මතය අනුව මෙම නියෝග නිකුත් කළ හැකිය කියන අදහස මත එය විවේචනයට ලක්ව තිබුණා.
කිසිදු දැනුම් දීමකින් තොරව රැඳවුම් නියෝග මත මාස 18 දක්වා තිබුණු එක මෙහි මාස 3 දක්වා අඩු කර තිබෙනවා. එ් වගේම එවැනි නියෝගයක් නිකුත් කළ විගස පැය 24ක් ඇතුළත ඒ බව මහේස්ත්රාත්වරයාට දැනුම් දෙන්න ඕනෑ. එවැනි දැනුම් දීමක් කළ විට මහේස්ත්රාත්වරයාට එතැනට පූර්ව දැනුම් දීමකින් තොරව ගිහින් පරීක්ෂා කරන්න පුළුවන්.
පැය 48ක් ගතවීමට පෙර ඒ බව මානව හිමිකම් කොමිසමට දැනුම්දීම් කරන්න ඕනෑ. රැඳවුම් නියෝගයේ තිබෙන දේවල් දැනුම් දීම කළ යුතුයි. කිසි කෙනෙකුට නොදන්වා ඕනෑම වෙලාවක එවැනි සැකකරුවකු සිටින ස්ථානයකට යෑමේ හැකියාව තිබෙනවා. ඒ වගේම රඳවා ගන්නා තැනැත්තාට තමන්ට පහර දීමක් සිදු වූයේද යන්න මානව හිමිකම් කොමසාරිස්වරුන්ට හෝ මහේස්ත්රාත්වරයාට පුද්ගලිව දැනුම්දීමේ හැකියාව තිබෙනවා. එවැනි දෙයක් සිදුව තිබේ නම් ඔහු වෛද්‍යවරයකු හමුවට පමුණුවන්න ඕනෑ.
පහර දීමක් සිදුව ඇති බව හෙළි වෙනවා නම් එයට සම්බන්ධ නිලධාරීන්ට නීතිපතිවරයා හරහා නඩු පැවරීමේ බලය දී තිබෙනවා. මේ එකක්වත් දැනට ක්‍රියාත්මක වන පනතේ දකින්න නැහැ. මාස 3කට වඩා තියා ගන්න පුළුවන් මහේස්ත්‍රාත්වරයා අවසර දෙනවා නම් පමණයි. ඒ වුණත් අවුරුද්දකට වඩා තියාගන්න බැහැ.
ඒ වගේම මේ පනතේ වෙන කිසි පනතක නැති වැදගත් වගන්තියක් තිබෙනවා. පනතේ 43 වැනි වගන්තිය අනුව රඳවා ගෙන සිටින තැනැත්තන් හමුවෙන්න නීතිඥවරුන්ට හැකියාව දී තිබෙනවා. මේ හැකියාව ලංකාවේ වෙන කිසිම නීතියක ලැබී නැහැ. නීතිඥවරුන්ට පොලිසියකට ගිහින් තමන්ගේ සේවාදායකයන් මුණගැහෙන්න මේ දක්වා හැකියාව ලැබී තිබෙන්නේ නිතියෙන් නෙමෙයි. ඒ හැකියාව නීතිඥවරුන්ට ලැබී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවරා ඇති රීති මාලාවක් මඟිනුයි. නීතිඥ ප්‍රවේශයක් අනිවාර්යෙන්ම දිය යුතුයි කියලා මේ පනතේ දක්වා තිබෙනවා.
ඒ වගේම රැඳවුම්කරුට ඒ ගැන විරෝධයක් ඇත්නම් එය දැන්වීමට මාස 3ක් යන තෙක් සිටිය යුතු නැහැ. අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර තමන්ගේ කරුණු දැක්වීම සමාලෝචන මණ්ඩලයකට කරන්න පුළුවන්.
සමාලෝචන මණ්ඩලයයේ සාමාජිකයන් කවුද?
සමාලෝචන මණ්ඩලය ආරක්ෂක ලේකම් හා තවත් විද්වතුන් දෙදෙනකුගෙන් සමන්විත වෙනවා. ඔවුන් පොලිසියේ හෝ අමාත්‍යාංශයේ නිලධාරීන් නෙමෙයි. විේවතුන් දෙදෙනෙක් කියලා පැහැදිලිව පනතේ දක්වා තිබෙනවා. එවැනි ඉල්ලීමක් ලැබුණු විට එය කල් දමන්න හැකියාව නැහැ. ඒ පිළිබඳ සමාලෝචන මණ්ඩලයේ අදහස සති දෙකක් තුළ දැන්විය යුතුයි.
මෙහි යෝජනා කර තිබෙන සමහර දඬුවම් ගැන සමාජයේ විවාදයක් ඇතිව තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
මරණ දඬුවම පැමිණවීම ගැන ඒ විදිහෙ අදහසක් තිබෙනවා. දේපළක් කොල්ලකෑම සඳහා කෙනෙක් තව කෙනෙක් මරණයට පත් කළොත් අපේ නීති පද්ධතිය අනුව ඒ තැනැත්තාට මරණ දඬුවම දෙනවා. එය පළිගන්නවා නම් ත්‍රස්තවාදී ක්‍රියාවක් කර රටේ සාමය නැති කිරීමට හා මිනීමැරුමකට සම්බන්ධ වෙන කෙනෙකුට මරණ දණ්ඩනය දීම වැරැදි වෙන්නේ කොහොමද.
මරණීය දණ්ඩනය දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙන දෙයක්. අන්තරායකාර ඹෟෂධ පනතේ මරණීය දණ්ඩනය තිබෙනවා. ශ්‍රේෂ්ඨාධීකරණය මරණීය දණ්ඩනය දීම අනුමත කළ අවස්ථා තිබෙනවා. ක්‍රියාත්මක නොවීම වෙනම දෙයක්. නමුත් දී තිබෙනවා. මේ ගැන දැන් අපට කතා කරන්න බැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය මේ ගැන පැහැදිලිවම අදහස් දක්වා තිබෙනවා.
ප්‍රතිතස්ත පනත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වූ අවස්ථාවේ අරගලයේ හිටිය නිතිඥයන් මේ කතාව කිව්වා. නමුත් ඒ අදහස ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේ නැහැ.
සාමාන්‍ය නීතිය යටතේ අත්හිටුවූ සිරදඬුවම් දීම දකින්න පුළුවන්. කෙනෙක් සිරගත කරන්නේ නැතිව ඔහුට යම් යම් තැන්වලට යන්න එපා කියලා සීමා දැමීම කිසිම වරදක් නැහැ. ඔහුව බන්ධනාගාරයේ රඳවා ගන්නේ නැතිව ඥාතී මිත්‍රාදීන් සමඟ නිවෙසේ රැඳවීම මම දකින්නේ හොඳ දෙයක් විදියටයි. ඒකට විරුද්ධ අය කියන්නේ ඔහුව සිරගත කරන්නද.
නීතිපතිවරයාට මේ යටතේ යම් යම් කටයුතුවලට මැදිහත් වෙන්න ඉඩ සලසා ඇති බවට තවත් චෝදනාවක් තිබෙනවා නේද?
සියලු සාක්ෂි සලකා බලා චෝදනා ගොනු කරන ආකාරය තීරණය කිරීම නීතිපතිවරයා කරනවා. ඒ වුණත් ඔහුට මැදිහත් වෙන්න ඉඩක් මේ පනත අනුව නැහැ. ඔහුට යම් යම් නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා සුදුසු නම් ඒවා ලබා දීම මහාධිකරණය සිදු කරනවා. මහාධිකරණ තීරණ අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අභියෝගයට ලක් කරන්න පුළුවන්.
නමුත් අවු: 20 දක්වා නඩු නොපවරා සිටීමට නීතිපතිවරයාට දී ඇති බලය මේ පනතේ වැරැද්දක් ලෙස මම දකිනවා. අවු: 5ක් වගේ කාලයක් වැරැද්දක් නොකර හිටියා නම් ඒ වගේ අයට සහනයක් දිය යුතුය යන්න මගේ අදහසයි. ඒ වගේම මාස 3කට වඩා වැඩි කාලයක් රඳවා තබා ගන්නවා නම් එය මහේස්ත්රාත්වරයාට රහස්‍ය වාර්තා ඉදිරිපත් කිරීම මඟින් කළ හැකි බව දක්වා තිබෙනවා. මේ දෙකම වෙනස් විය යුතුයි. මහානාම තිලකරත්න නඩුවේදී රහස්‍ය වාර්තා කියලා දෙයක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව දක්වා තිබෙනවා. මේ ලේඛනවලට කාටත් පොදුවේ ප්‍රවේශ වෙන්න පුළුවන් විය යුතුයි.
ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා
දිනමිණ

