නොමිලේ සහල් බෙදන පවුල් සංඛ්‍යාව විසි අට ලක්ෂ පනස් දහස දක්වා ඉහළට

මාර්තු, අප්‍රේල් මාස සඳහා නොමිලේ සහල් කිලෝ දහය බැගින් ලබාදෙන පවුල් සංඛ්‍යාව විසි අට ලක්ෂ පනස් දහස දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද නියෝග කළේය.
මෙම සහනය ලක්ෂ විස්සක ජනයාට ලබා දීමට කලින් තීරණය කොට තිබුණ ද, අවශ්‍යතා ඇති සංඛ්‍යාව විසි අට ලක්ෂයක් බව නිලධරීන්ගේ සමීක්ෂණ මගින් පෙනී ගොස් තිබීම නිසා මෙම තීරණය ගෙන තිබේ.
අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේදී අවශ්‍යතා සහිත කිසිවෙකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
එසේම පවුල් 28 ලක්ෂ 50,000ක් සඳහා සහල් ලබාදීම වෙනුවෙන් ප්‍රමාණවත් වී තොග මිලදී ගැනීම, රුපියල් බිලියන 20ක උපරිමයකට යටත්ව සිදු කරන ලෙසද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ඒ සඳහා මීට පෙර වෙන්කර තිබුනේ රුපියල් බිලියන 10 කි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අද (14) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක් නොමිලේ ලබාදීමේ වැඩසටහන යටතේ වී මෙට්‍රික් ටොන් 61,600 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන්කිරීමට මීට පෙර තීරණය කර තිබිණි.
වත්මන් තීරණය මගින් සහන ලබන පවුල් සංඛ්‍යාව මෙන් ම වෙන් කළ මුදල ද වැඩි කොට තිබේ.
