මැතිවරණ දින තීන්දුව නීති විරෝධී යි ; රැස්වීමේ ගණපුරණය නැහැ ; අධිකරණයට පෙත්සමක් ?

පළාත් පාලන මැතිවරණය සඳහා මාර්තු 9 දා දිනය තීන්දු කිරීම නීත්‍යනුකුල නොවන බවට අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කිසියම් පිරිසක් සුදානම් වන බව තතු දත් ආරංචි මාර්ග කියයි.
මැතිවරණ කොමිසමේ ගණපුරනයකින් තොර රැස්වීමක දී එම තීන්දුව ගෙන තිබීම මෙම පෙත්සමට පදනම වී තිබේ. එම තීරණය ගත් රැස්වීමට සහභාගී වී ඇත්තේ කොමිසමේ සාමාජිකයින් පස් දෙනාගෙන් දෙදෙනකු පමණකි. තිදෙනෙකු සහභාගී වී නැත.
මැතිවරණය කල් දමන්නට යන බවට චෝදනා කරමින් ඇතැම් කොමසාරිස්වරුන්ට මරණ තර්ජන එල්ල වී තිබුණු බව ද මීට පෙර වාර්තා වී තිබිණි. එම තරජනවලට ලක් වූ ඇතැම් සාමාජිකයින් මෙම රැස්වීමට සහභාගී වී නැත.
සහභාගී නොවූ කොමසාරිස්වරුන්ගේ කැමැත්ත දුරකථන මගින් කතාකොට ලබාගත් බව කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කියයි. කෙසේ වෙතත්, රැස්වීමේ ගණපුරණය නොමැතිව ගන්නා තීරණ නීති විරෝධී බව කියමින් එම තීරණය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට යන බව කියති.
