|

ශ්‍රී ලංකා රාජ්‍යයේ බිඳෙන සුළු බවේ මුලයන් – මහාචාර් ය රොහාන් සමරජීව

 

2022 වසර අපට යමක් පෙන්නුම් කළේ නම් එය වන්නේ, පක්ෂයට ඉහළින් රට ගැන සිතා එක්සත්ව කටයුතු කිරීමට අපගේ දේශපාලන පන්තියට නොහැකි බව යි. ඉදිරියට ඇති බරපතළ අභියෝග හමුවේ මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මෙම අර්බුදය අවසන් වීමට තවත් බොහෝ කල් තිබේ.

2022 දී වඩාත් පීඩාවට පත්වුයේ දිළිඳු ජනයා ය. උද්ධමනය සහ හිඟවීම් මගින් වසංගතයේ සහ එයට ප්‍රතිචාර වශයෙන් කල අගුළු දැමීමේ බලපෑම තවත් උත්සන්න කළේය. අපට මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වය උදා කළ අනුග්‍රහ කේන්ද්‍රීය ආර්ථිකයෙන් සමෘධිමත් වුවන්ට ද මෙහි බලපෑම මෙම වසරේ දී දැනෙනු ඇත. ඔවුන් තම වරප්‍රසාද රැක ගැනීමට උපරිම උත්සාහය දරනු ඇති අතර රට පාලනය කිරීම අපහසු තත්ත්වයට පත්වනු ඇත. මැතිවරණ පැවැත්වෙනු ඇත. බොහෝ දුරට ඉඩ ඇත්තේ, 2023 නොවැම්බරයේ ජනාධිපතිවරණය පැවැත්වීමට ය. ලෙබනනයේ අත්දැකීම් මගින් පෙන්නුම් කරන පරිදි මැතිවරණ මගින් ආණ්ඩුකරණය පහසු වීම අනිවාර්යයෙන් සිදුවන්නේ නැත.

උද්ධමනය අඩුවෙමින් පවතියි. එසේ වුවත් ණය ප්‍රතිව්‍යුහගත කරණයේ සෑම අංගයක් ම සම්පුර්ණ වන තෙක් ආර්ථිකයේ සංකෝචනය නතර නොවනු ඇත. අවශ්‍ය ප්‍රතිසංස්කරණ සම්පුර්ණ නොකරන්නේ නම් ශ්‍රී ලංකාව වර්ධනයේ මාවතට නැවත නොපැමිණෙනු ඇත.

අසමත් / බිඳෙන සුළු රාජ්‍යය ය

අපගේ ආණ්ඩුව විසින් රට ආර්ථික ප්‍රපාතයකට අද දැමූ අවස්ථාවේදී, 2006 දී සහ 2007 දී ලංකා බිස්නස් ඔන්ලයින්හි මා විසින් පළකරනු ලැබූ අසමත් රාජ්‍ය දර්ශකය පිලිබඳ විග්‍රහයන් දෙකක් මගේ මතකයට නැගුනි. වොෂින්ටන් නගරයේ පදනම් වූ සංවිධානයක් වන සාමය සඳහා අරමුදල මගින් 2005 සිට වාර්ෂිකව  ප්‍රකාශයට පත් කරනු ලබන මෙය දැන් බිඳෙන සුළු රාජ්‍ය දර්ශකය (FSI) ලෙස නැවත නම් කරනු ලැබ ඇත. විවෘත මුලාශ්‍ර මගින් ලබා ගන්නා දහස් ගණන් ප්‍රවෘත්ති දත්ත ලෙස භාවිතා කරන මෙය CAST ( Conflict Assesment System Tool ) ලෙස හඳුන්වනු ලබන හිමිකාර මෘදුකාංගය මත පදනම් වෙයි. ස්වභාවික විපත්වලට සමාන දේශපාලන වර්ධනයන් පුරෝකථනය කිරීමට සහ අවදානම් කළමනාකරණයට සහය වීම සඳහා වසර බොහෝ ගණනක්  තිස්සේ පර්යේෂකයෝ CAST වැනි මෙවලම් සංවර්ධනය කරමින් සිටියහ. ඔවුන් අපගේ විපතේ පෙරමග ලකුණු හඳුනාගත් බව මම අනුමාන කළෙමි.

2007 දී ශ්‍රී ලංකාවට ලැබී තිබුණු ශ්‍රේණිගත කිරීම (25, අඩු අගයක් වීම නරක ය)  රුවන්ඩාවට  (36) ,සහ ලයිබීරියාවට (27) වඩා නරක් වීම නිවැරදි නොවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිණි. කොතරම් ශාස්ත්‍රීය ආකාරයෙන් බැලුවද, තමන්ගේ රට අසමත් රාජ්‍යයක් ලෙස පිළිගැනීම අප්‍රසන්නය. සමහර විට 2007 න් පසු මා නැවත එම දර්ශකය විමර්ශනය නොකිරීමට හේතුව එය විය හැකි ය.

රටක සමස්ත ලකුණු ප්‍රමාණය උපදර්ශක 12ක්  මත පදනම්ව ඇති අතර ඒවා, එකමුතුකම, ආර්ථික, දේශපාලන සහ සමාජ වශයෙන් වර්ගීකරණ හතරක් ලෙස කාණ්ඩ ගත කොට තිබේ. ආරක්ෂක යාන්ත‍්‍රණයේ ප්‍රබල බව, කණ්ඩායම්ගත ප්‍රභූන් සහ කණ්ඩායම් දුක්ගැනවිලි “එකමුතුකමට” ඇතුළත් ය. “ආර්ථික” යන්න සැදී ඇත්තේ ආර්ථික පසුබැස්ම, අසමාන ආර්ථික සංවර්ධනය, සහ මානව ඉරණම හා බුද්ධිගලනය වශයෙනි. රජයේ යුක්තායුක්තබව, රාජ්‍ය සේවය, සහ මානව හිමිකම් හා නීතියේ පාලනය “දේශපාලන” වර්ගීකරණට ඇතුළත් වෙයි. “සමාජ” යන්න සමන්විත වන්නේ ජනවිකාශ පීඩනය, සරණාගතයින් හා අභ්‍යන්තර විතැන්වුවන් සහ බාහිර මැදිහත්වීම් යන කරුනුවලිනි.

බිඳෙන සුළු රාජ්‍ය දර්ශකයේ 2007 දී ශ්‍රී ලංකා රාජ්‍යයේ දුර්වලතාවය ගැන ඉඟියක් තිබුනද, 2022 වන විට එය දියවී ගොස් තිබුණි. ශ්‍රී ලංකාව දැන් 56 වැනි ස්ථානයේ ශ්‍රේණිගත කොට ඇත්තේ තව දුරටත් රුවන්ඩාවට (දැන් 41 ස්ථානයේ) සහ ලයිබීරියාවට (33) පහතින් නොවේ.  එය දැන් කාණ්ඩගත කොට ඇත්තේ ඉතියෝපියාව සහ රුවන්ඩාව සමග නොව, ඉන්දියාව සහ බ්‍රසීලය වැනි සාපේක්ෂ වශයෙන් ස්ථාවර රටවල් සමග ය. ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව 2015 දී සිටි 34 වැනි ස්ථානයේ සිට 2016 දී 43 දක්වා පිම්මක් පැන ඇති බවත්, ඉන් පසු දිගට ම ඉහළ නගින ගමන් පථයක යන බවත් පෙනෙන්නට තිබේ.

රාජපක්ෂවරුන් නැවත බලයට පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවූ ව්‍යසනය පුරෝකථනය කිරීමට සමස්ත ලකුණු මගින් අපොහොසත් වුව ද, එක් බරපතළ ප්‍රශ්නයක් FSI දර්ශකය  හඳුනාගෙන තිබේ. කණ්ඩායම්ගත ප්‍රභූන් සඳහා 2006 දී 8.9/10 පැවති ඉහළ අගය අද පවතින්නේ 9.1 ක වඩාත් ඉහළ අගයක ය. කණ්ඩායම් දුක්ගැනවිලි දර්ශකයෙන් 2006 දී ශ්‍රී ලංකාව සිටියේ 9.1/10 අගයක ය. එය 2009 -2010 වර්ෂවල 9.8/10 ඉහළ ම අගයක් වාර්තා කිරීමෙන් පසු 2022 දී 8.1 ක් දක්වා අඩු වී ඇත. එම අගයන් දෙක පහළට ගෙන ආවොත්, ශ්‍රී ලංකාවට, 2014 සිට පහත වැටෙන ගමන් පථයක (2007දී 109; අද 69) යන ඉන්දියාවට වඩා හොඳ තත්ත්වයකට පත්වීමට ඉඩ තිබේ.

කණ්ඩායම්ගත ප්‍රභූන්

බිඳෙන සුළු රාජ්‍ය දර්ශක වෙබ් අඩවිය අනුව, “කණ්ඩායම්ගත ප්‍රභූන්” දර්ශකයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ ජනවාර්ගික, පන්තිමය, වාංශික, වාර්ගික සහ ආගමික වශයෙන් රාජ්‍ය ආයතන බෙදී තිබීම මෙන් ම පාලක ප්‍රභූන් අතර අවදානම් සීමාවට යෑම සහ එකඟවීමේ නොහැකියාව යි.  ජාතිකවාදය, විජාතික භීතිකාව, වාර්ගික නැවත අල්ලා ගැනීම (උදා: “මහා සර්බියාවක්”) හෝ වාර්ගික සහෝදරත්වය (උදා: “වාර්ගික පිරිසිදු කිරීම” හෝ “ඇදහීම ආරක්ෂා කිරීම”)  ආකාරයෙන් බොහෝ විට ප්‍රකාශ  වන ජාතිකවාදී දේශපාලන ප්‍රකාශ භාවිතය ද එහි සාධකයක් වෙයි. අන්තවාදී සිදුවීම්වල දී, සමස්ත පුරවැසියන් නියෝජනය කරන පුළුල් ලෙස පිළිගත් යුක්තායුක්ත නායකත්වයක් නොමැතිවීම ද, එමගින් නියෝජනය කළ හැකි ය.  කණ්ඩායම්ගත ප්‍රභූන් දර්ශකය මගින් බල අරගල, දේශපාලන තරඟය, දේශපාලන පරිවර්තන, සහ මැතිවරණ ක්‍රියාවලියේ පිළිගැනීමේ සාධකයක් ලෙස මැතිවරණ පැවැත්වෙන අවස්ථා (හෝ එසේ නොවන විට පාලක පන්තියේ පිළිගත් යුක්තායුක්තභාවය) මනිනු ලබයි.

මෙම දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉහළ ලකුණු ලබා ගැනීම (දුර්වල වීම) පුදුමයට කරුණක් නොවේ. ප්‍රෙහෙලිකාව නම් අප රටේ තත්ත්වය 2009 සිට දියුණු වූ බව FSI දර්ශකයේ කර්තෘවරුන් තීරණය කළේ කෙලෙස ද යන්න යි.

දේශපාලඥයින් පමණක් නොවේ

ප්‍රශ්නය දේශපාලන නායකයින්ට පමණක් සීමා වන්නේ නැත. නිලධාරී තන්ත්‍රයේ ඉහළ ස්ථරය මෙන් ම එහි දිගුවක් වන විශේෂඥයින් ද, ඊට වැඩියෙන් නොවේ නම් ඒ තරම් ම, වගකිව යුත්තෝ වෙති. මේ ගැන මට පොතක් ලිවිය හැකි වුව ද, මේ අවස්ථාවේ එක් නිදර්ශනයකින් කතාව කිව හැකි වෙයි.

ජාතික පරිසර ප්‍රතිපත්තිය 2022 ජුනි 20 දා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබී ය. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ගේ සිත්  තුළ, ජුනි 9 දා බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම සහ තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව ඇතුළු වෙනත් බොහෝ දේ තිබූනා වුව ද, වාර්තා වුයේ අර්බුදය මැද ඔවුන් මෙම පිටු 90 කින් යුතු වාර්තාව සම්මත කළ බව යි. ඇමතිවරයා පත් කරන ලද්දේ ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට දින ගණනාවකට පෙර මැයි 23 වන දා ය. එබැවින් එම ලේඛනය සකස් කළ නිලධාරීන්ට සහ විශේෂඥයින්ට ප්‍රශංසා කිරීම හෝ දොස් පැවරීම හෝ අසාධාරණ නොවේ.

ජාතික පරිසර ප්‍රතිපත්තියේ 8 වැනි පිටුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වැඩි ගැඹුරක් නැති සඳහනක් ඇත. පරිසරය සුරැකීම පළාත් සභා ලැයිස්තුවට පැහැදිලිව ම ඇතුළත්කොට ඇති බව (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවැනි උපලේඛනය) කෙටුම්පත් කරුවන් විසින් නොතකා හැර ඇත. සටහන 1 ලෙස ලබා දී ඇති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ පළාත් සභා ගැන කිසිදු සඳහනක් නැත. පරිසර අමාත්‍යංශයේ ලේකම් මුලසුන දරන අතිශය සංකීර්ණ මෙහෙයුම් කමිටුවේ සිතාගත හැකි සියලු මධ්‍යම අමාත්‍යාංශවල නියෝජිතයින් සිටින නමුත් පළාත්වලින් කිසිවකු නැත. කණගාටුදායක සහ පුදුමයට හේතුවන කරුණ නම් නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමතිවරයා මෙම ව්‍යවස්ථා විරෝධී කැබිනට පත්‍රිකාවට අත්සන් තබා තිබීම යි.

“පරිසර කළමනාකරණයට සම්බන්ධ විවිධ රාජ්‍ය ආයතන අතර සිරස් ( ජාතික සහ උපජාතික මට්ටමේ ආයතන අතර ) සහ තිරස් ( ජාතික හෝ උපජාතික සංවිධාන අතර ) මෙන් ම,  ක්‍රියාත්මක කරන ක්‍රියාකාරකම්වල  / වැඩ සටහන්වල  අවශ්‍යතා අනුව අවශ්‍ය අවස්ථාවල සම්බන්ධීකරණය සහතික කිරීම සඳහා උචිත යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු “ බව 4.7.1.1.  ඡේදයේ සඳහන් බව සාධාරණත්වය වෙනුවෙන් පෙන්වා දිය යුතු ය. එසේ වුව ද, මෙය ක්‍රියාවට නැංවීමක් ප්‍රතිපත්තිය තුළ සිදුකොට නැත.

පළාත් පාලන ආයතන සහ පළාත් සභා වැනි උප – ජාතික ආයතනවල කාර්යභාරය ගැන වාර්තාවේ අවසාන ඡේදයේ සඳහනක් ඇත. ක්‍රියාවට නැගීමේ යාන්ත්‍රණයේ දී මෙම ආයතන ඉවත් කොට තිබීමෙන් පෙනී යන්නේ මෙම විස්තර කිරීම ජාතික පරිසර ප්‍රතිපත්තියේ අනිවාර්ය අංගයක් නොවන බව යි.

පළාත් සභා ගැන සඳහන්කිරීම් පහක් සහ පළාත් පාලන ආයතන ගැන කිහිපයක් සඳහන්ව ඇති අතර ඒ බොහෝ විට ඝන අපද්‍රවය සහ අන්තරායකර අපද්‍රව්‍ය සම්බන්ධයෙනි. පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවක් පවතින බව (උතුරු පළාත සම්බන්ධයෙන් ගත්  විට ඒ හරහා ගලා යන සියලු ගංගා සම්බන්ධ බලය සහිතව) සහ පානීය ජලය සම්බන්ධයෙන් බලය ඇත්තේ පළාත් සභාවලට බවට,  2003 ජල සේවා ප්‍රතිසංස්කරණ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව (SC (SD) 24/2003 සහ 25/ 2003) ගැන කෙටුම්පත් කරුවන් දැනුවත් නොවූ බව පෙනෙන්නට තිබේ. එහි දිගුවක් ලෙස ජල අපවහනය සහ මළ අපවහනය ද පළාත් සභා විෂයයන් වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලු ඉඩම් සහ  පළාත් එකකට වැඩි ගණනක් හරහා යන ගංගාවලට සම්බන්ධ ඒවා හැරුණු විට, සියලු ජල මාර්ග සහ ජලාශ ද පළාත් සභාවල බලාධිකාරියට යටත් වෙයි.

එසේ වුව ද, ජාතික පරිසර ප්‍රතිපත්තියේ කෙටුම් පත් කරුවන් මේ සියල්ල නොසලකා හැර ඇත. මෙම ප්‍රතිපත්තිය කණ්ඩායම් දුක් ගැනවිලිවල (2022 බිඳෙන සුළු රාජ්‍ය දර්ශකයට අනුව 8.1/10), එහි ඵතිඵල ලෙස ප්‍රභූන් කණ්ඩායම්ගත වීමේ (9.1/10) සහ නීතියේ පාලනය නොතකා හැරීමේ (7.9/10) ප්‍රකාශනයකි.

විශේෂඥයින් සහ නිලධාරීන් විසින් ජාතික පරිසර ප්‍රතිපත්තිය කෙටුම්පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු නොතකා හරිමිනි. එසේ තිබිය දී, එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය. 1987 සිට විවිධ ආණ්ඩු ඉඩම් සහ පොලිස් බලය සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කොට ඇත. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ දේශපාලඥයින්, නිලධාරීන් සහ විශේෂඥයින් විසින් නීතියේ පාලනය නිර්ලජ්ජී ලෙස නොතකා හැරීම යි.

මෙම හැසිරීමට පාදක වන හේතුව කණ්ඩායම් දුක්ගැනවිලි යි. සාගර සහ වායුගෝලීය දුෂණය වැනි ව්‍යතිරේක කිහිපයක් හැරුණු විට, පරිසර ආරක්ෂාව වඩා හොඳින් කළ හැක්කේ, භූමියට ලඟින් සිටින ආණ්ඩුවේ ස්තරවලට, එනම් පළාත් පාලන ආයතන සහ පළාත් සභාවලට යන්න පහසුවෙන් තේරුම් ගත හැකි සත්‍යයකි. එසේ වුව ද, එම ප්‍රායෝගික සත්‍යයට පටහැනිව මධ්‍යම ආණ්ඩුවේ බලය සංකේන්ද්‍රණය කිරීමට ප්‍රභූ පිරිස් කුමන්ත්‍රණ කරති.

ජාතික පරිසර ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන්නේ ප්‍රායෝගික සත්‍යය පමණක් නොවේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය කරයි. මෙය කණ්ඩායම් දුක්ගැනවිලි නිසා සිදුවන්නකි. එනම්, බහුතර ජනවර්ගයේ නොවන දේශපාලඥයින්ගේ මෙහෙයවීම යටතේ පවතින කිසිදු පළාත් සභාවකට හෝ පළාත් පාලන ආයතනයකට හෝ බලය ලබා දීමට විරුද්ධ වීම යි. උතුරු සහ නැගෙනහිර පළාත් සභා කෙරෙහි ඇති සතුරුකම නිසා රටේ සෙසු පලාත්වල සිටින ජනයා ද පිරිහීමට සහ හානියට ලක්වෙති.

බිඳෙන සුළු ශ්‍රී ලංකාව

2022   වසරේ සිදුවීම් නිසා බිඳෙන සුළු රාජ්‍ය දර්ශකයේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය පහත වැටෙන්නට පටන්ගනු ඇත. එය තේරුම් ගත හැක.

ඇත්ත වශයෙන්ම, අප රට එකමුතුකමට හැකියාවක් නැති බිඳෙන සුළු රාජ්‍යයකි. ජනවාර්ගික ආධිපත්‍යයට විශාල බරක් දෙන අපි කණ්ඩායම් දුක් ගැනවිලිවලින් ක්‍රියාත්මක වන උප ප්‍රශස්ත විසඳුම් ක්‍රියාවට නගන්නෙමු. පරිසරය සුරැකීම වඩා හොඳින් ප්‍රායෝගිකව කළ හැකි ආකාරය පිලිබඳ සාමාන්‍ය දැනුම නොසලකා බහුතරයේ ආධිපත්‍යයට ප්‍රමුඛත්වය දීමට එහි කෙටුම්පත් කරුවන් ක්‍රියා කිරීම නිසා ජාතික පරිසර ප්‍රතිපත්තිය වැඩකට නැති ප්‍රතිපත්ති ලේඛන ලිපිගොනු අතරට එක් වනු ඇත. අවාසනවකට වන හානිය එයට සීමා වන්නේ නැත.

මහාචාර් ය රොහාන් සමරජීව

අනිද්දා

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *