විදුලි බිල වැඩි කරන්න කැබිනට් මණ්ඩලයට අවසර දෙන්නේ නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක
‘
විදුලි ගාස්තු ඉහල දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නද එම තීරණය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම බැඳී නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ කැබිනට් මණ්ඩලයේ එම තීරණය මහජන උපයෝගීතා කොමිසමේ පනතට පටහැනි බව යි. අද මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කී ය.
කැබිනට් මණ්ඩලය පසුගිය කාලය පුරා හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනා රැසකට අනුමැතිය ලබා දුන්නද මහජන උපයෝගීතා කොමිසම එම යෝජනා ක්‍රියාත්මක නොකළ බවත් එම යෝජනා මෙන්ම මෙම විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවද ක්‍රියාත්මක නොකර සිටීමේ හැකියාව එම කොමිසමට ඇති බව ද සභාපතිවරයා කීය.
කෙසේ වෙතත්, ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග කියන්නේ දැනට පවතින විදුලි කැපීමට හේතුව උපයෝගිතා කොමිසමේ තීරණ බව යි. විදුලි නිෂ්පාදන පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණවත් ගාස්තු වැඩි කිරීමක් ඉල්ලු මණ්ඩලයට එම සංශෝධනයට අවසර නොදීම නිසා මේ වනවිට විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට මුදල් නොමැති වීම නිසා විදුලි කැපීම දිගට ම පවත්වාගෙන යාමට සිදු වී ඇති බව කියති.
පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කළ හැකි බවට ජනක රත්නායක මහතා පසුගිය දිනවල ප්‍රකාශයක් කළ ද කෝප් කමිටුව ඉදිරියේ කළ විමර්ශනයක දී මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයින් වන මොහාන් සමරනායක මහතා සහ චතුරිකා විජේසිංහ මහත්මිය කීවේ එය කොමිසමේ මතය නොවන බව යි. එවැනි කරුණක් කොමිසමේ සාකච්ඡා නොකළ බව ඔවුහු කෝප් කමිටුවට ප්‍රකාශ කළහ.
