පළාත් පාලන ඡන්දය වහා ම කැඳවන්න බැහැ – මැතිවරණ කොමිසම විපක්ෂයට කියයි

 

පළාත් පාලන ඡන්දය වහා ම කැඳවන ලෙස විපක්ෂයේ පක්ෂ විසින් මැතිවරණ කොමිසමෙන් අද කළ ඉල්ලීම කොමිසන් සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව මැතිවරණ කොමිසමට සම්බන්ධ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

දෙසැම්බර් 6 දාට පෙර මැතිවරණය ප්‍රකාශයට පත් නොකරන බවත්, එය කැඳවීමට ජනවාරි 9 වැනිදා දක්වා තමන්ට කල් ඇති බවත් පේනවා දී ඇති මැතිවරණ කොමිසම ඒ අනුව ජනවාරි 9 දාට පෙර මැතිවරණය කැඳවීමට ක්‍රියා කරන බව විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ට දැනුම් දී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් අද මැතිවරණ කොමිසම හමු වී කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස කොමිසම තම ස්ථාවරය මෙලෙස දැනුම් දී තිබේ.

සමගි ජන බලවේගය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ පෙරමුණක් මෙම ඉල්ලීම කිරීමට සම්බන්ධ වී ය.

මෙම කණ්ඩායම මැතිවරණ කොමිසම හමු වී අද ඉල්ලා සිටියේ මැතිවරණය කැඳවීමට නීතිමය බලය මේ වන විට කොමිසමට ලැබී ඇති බැවින් වහා ම පළාත් පාලන මැතිවරණය කැඳවන ලෙසයි.

මැතිවරණය කැඳවීමට නීතිමය බලය කොමිසමට ලැබී ඇතත් ,ඡන්ද නාම ලේඛනය අවසන් කර ගැනීම ඇතුළු ප්‍රායෝගික ප්‍රශ්න පිළිබඳව සැලකිල්ලට ගැනීමට කොමිසමට සිදුවන බව කොමිසම පෙන්වා දී තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම මාධ්‍යයට ප්‍රකාශ කළේ දෙසැම්බර් 6 සහ ජනවාරි 9 අතර දිනෙක පාළාත් පාලන මැතිවරණය කැඳවීමට මැතිවරණ කොමිසම පොරොන්දු වූ බවයි.

පාළාත් පාලන මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මාසයේ දිනෙක පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව මැතිවරණ කොමිසමට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *