විදුලිබල ක්ෂේත්රය ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ කුමට ද ? කෙලෙස ද ? – කීර් ති ගොඩිගමුව

අද වන විට ලෝකයේ බොහෝ රටවල විදුලිබල ක්ෂේත්රය වේගවත් ලෙස වෙනස්කම් වලට භාජනය වෙමින් පවතී. ඒ ඒ රටවල එයට යොදා ගන්නා ක්‍රමවේද වල එකිනෙකට වෙනස්කම් දක්නට ලැබුණ ද, ඒවායේ දිශානති එල්ලයේ පොදු බවක් දක්නට ඇත.
මෙම ක්ෂේත්රය සමීපව නිරීක්ෂනය කිරීමේදී හෙලිවන පොදු කරුණක් නම්, ලෝකයේ බොහෝ රටවල පෙර පැවති ආයතනික ව්‍යුහ බොහෝ දුරට සමාන වන අතර එම ආයතන වලට අදාළ ප්‍රශ්න සහ ගුණ අගුණද ඒ ආකාරයටම සමානකම් පෙන්වන බව යි. මේවායේ පොදු ලක්ෂණ වන්නේ නිෂ්පාදිතයේ මිල අධික බව, ආයතනික වියදම් අධික බව, සපයන භාණ්ඩ හෝ සේවාවන්හි හෝ ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්න, සපයන භාණ්ඩ හෝ සේවාවන්හි හිඟය, නාස්තිය සහ දූෂණය පැවතීම, ප්‍රමාණය ඉක්මවන සේවක සංබ්‍යාවක් නඩත්තු කිරීම සහ ප්‍රාග්ධන යෙදවුම්වල ඵලදායී බව අඩුවීම ආදිය යි.
ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණු සහ ප්‍රයෝජන
විදුලිබල ක්ෂේත්රයේ පවතින ගැටලුවල ප්‍රතිඵල අවසානයේ භුක්ති විදීමට සිදුවන්නේ මුලු රටට ම බැවින් බොහෝ රාජ්‍යයන් කල්වෙලා ඇතිව මේවා සඳහා විසඳුම් සොයාගෙන ඇති නමුත් මෙරට තත්ත්වය එසේ නොවන බව පැහැදිලිය. ඉහත සඳහන් කළ දුර්වලතා, එනම්, මිල අධික බව, අධික වියදම්, අඩු ප්‍රමිතිය, හිගය, නාස්තිය සහ දුෂණය, අධික සේවක සංඛ්‍යා ආදිය නිසා මේ වනවිට මෙරට විදුලිබල ක්ෂේත්රයේ ඇතිවී තිබෙන මූල්‍ය අර්බුදය විසින් ක්ෂේත්රය සඳහා ප්රතිව්යුහකරනය අනිවාර්ය බවට පත්කර ඇත.
මෙතෙක් මෙම ක්ෂේත්රයේ ප්‍රාග්ධන අවශ්‍යතා රාජ්‍යය මැදිහත්වී සපුරා දී ඇති නමුත් මින් ඉදිරියට එය එසේ කළ නොහැකි තත්ත්වයක් රටේ පවතින ආර්ථික අර්බුදය විසින්ද නිර්මානය කර ඇත. එබැවින් ඉදිරියේද අවශ්‍ය වන නව විදුලි උත්පාදන ධාරිතාව ස්ථාපනය කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයාදීමේ වගකීම භාරගැනීමට රජයට තවදුරටත් නොහැකි වනු ඇත. මේ තත්ත්වය මගහැරවිමේ උපක්‍රමයක් ලෙස ප්රතිව්යුහකරනය පැවතියද එවැනි වෙනසක් සඳහා අවශ්‍ය දේශපාලන උවමනාවක් මෙරට තුල පැවති සමහර ආණ්ඩුවලට තිබුණේ ද යන්න ගැටලුවකි. මෙම තත්ත්වය ඇතිවීමට හේතු බොහොමයක් ඇතත්, ඒවායින් ප්‍රධාන තම සාධකය වන්නේ ජනතාව වෙත දිගු කාලයක් තිස්සේ වාමවාදී දේශපාලඥයන් විසින් ඒතතු ගන්වා ඇති සහ ඒ නිසා ම ජනමනස තුළ පැලපදියම් වී ඇති දේශීය සම්පත් රැකගැනීමට ඇති අවශ්‍යතාවය යටතේ මෙම ආයතන වල ව්‍යුහාත්මක වෙනසක් ඇතිකිරීමට ජනතාව දක්වන අකැමැත්ත යි. මෙම තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නා දේශපාලකයන්, නිලධාරින්, සේවකයන් සහ ව්‍යාපාරිකයන් රජය යටතේ පවතින මෙම ආයතන වල ගනුදෙනු හරහා රජයේ මුදල් අවභාවිත කිරීමටත්, විශේෂයෙන් දේශපාලකයන් තම හිතවතුන්ට සහ මුදලට රැකියා ලබාදීම සඳහා මෙම ආයතන යොදාගෙන ඇත.
විදුලිබල ක්ෂේත්රයේ ස්වභාවය
මෙම ක්ෂේත්රයට සම්බන්ධ යටිතල පහසුකම් සම්පාදනයේ දී හා පරිහරනය කිරීමේ දී ඒවා රටේ සම්පත් සමග මෙන් ම ජනජීවිතය සමග ද තදින් බැඳී පවතී. ඒ මක්නිසාද යත්, ඒ සඳහා දේශීය බලශක්ති ප්‍රභව, ගංගාද්‍රෝණි, ඛනිජ සම්පත් සහ ඉඩම් ආදිය භාවිත කිරීමට සිදුවන නිසා ය. එබැවින් මේ සඳහා රාජ්‍ය මැදිහත්වීම අනිවාර්ය දෙයක් බව පිළිගැනීමට සිදුවන අතර එය ඒ ආකාරයෙන් ම මේ දක්වා සිදුවී ඇති බවද පැහැදිලි කරුණකි.
විදුලිබල ක්ෂේත්රය ස්වභාවික ඒකාධිකාරයක්ද?
එක් වීදියකට එක් විදුලි රැහැනක් තිබීම රැහැන් කීපයක් තිබීමට වඩා ආර්ථික වශයෙන් වාසිදායක බව පිළිගත් සත්‍යයකි. එක් ආයතනයකට යම් භාණ්ඩ හෝ සේවා ප්‍රමාණයක් ආයතන කීපයක් හරහා එම භාණ්ඩ හෝ සේවා ප්‍රමාණයම සැපයීමට වැයකරන මුදලට වඩා අඩු මුදලකට සැපයිය හැකිනම් එතැන ස්වභාවික ඒකාධිකාරයක් පවතින බව ආර්ථික විද්‍යාව අනුව නිගමනය කෙරේ. විදුලිබල ක්ෂේත්රය විදුලි උත්පාදනය, සම්ප්‍රෙෂණය සහ බෙදාහැරීම වැනි ක්ෂේත්‍ර ගණනාවක සංයුතියක් බැවින් යම් යම් කොටස් ස්වභාවික ඒකාධිකාර යන වර්ගීකරණයට අයත් වුව ද, සමස්ථයක් ලෙස එය එම වර්ගීකරණයට අයත් නොවේ.
තරඟකාරී වෙළඳපොළ ක්‍රමය
මෙහි න්‍යායික හරය නම් තරඟකාරී වෙළඳපොළක් පැවතීම (ඉල්ලුම හා සැපයුම ක්‍රියාත්මක වීමට ඉඩදීම) මගින් භාණ්ඩ හා සේවාවල නිෂ්පාදන කාර්යක්ෂමතාවය (Productive Efficiency) වැඩිකිරීම සහ ඒවා පරිභෝජනය සඳහා අනුයුක්ත කිරීමේ කාර්යක්ෂමතාවය (Allocative Efficiency) වැඩිකිරීම ඇතිකළ හැකි බව යි. මෙම ක්‍රියාවලිය යම් කාල පරාසයක් තුළ ක්‍රියාත්මක වීමට ඉඩදීම හරහා නිෂ්පාදිතයේ මිල අඩුකර ගැනීමටත් ප්‍රමිතිය ඉහළ නංවා ගැනීමටත් හැකිවන බව ආර්ථික විද්‍යාවෙන් කියවෙන අතර එය ලෝක අත්දැකීම් තුළින්ද තහවුරු වී ඇත.
සාමාන්‍ය තත්ත්ව යටතේ ස්වභාවික ඒකාධිකාරයක් හෝ ඒකාධිකාරයක් හෝ පවතින අවස්ථාවක ඒ සඳහා නියාමනයක් ද අවශ්‍ය වන බැවින් නියාමන වියදම් ද සැලකිල්ලට ගත යුතු ය. එහෙත් ආයතන කීපයක් හා තරඟය පැවතීමේ දී ඇතැම් විට මුලු නිෂ්පාදන වියදම වැඩි විය හැකි වුවත් නියාමන වියදම් අඩු විම ස්වභාවික ය.
ප්‍රතිව්‍යුහගත කිරීමේ පදනම
ප්‍රතිව්‍යුහගත කිරීමේදී මූලික වශයෙන් සිදුවන්නේ අදාළ ක්ෂේත්රයේ හෝ ආයතනයේ හෝ කාර්යක්ෂමතාවය වැඩිකිරීම යි. එසේ කිරීමේ දී, එම ආයතනයේ ක්‍රියාකාරීත්වය තාක්ෂණිකව බෙදීමකට ලක්කොට එක් එක් කොටස් වඩාත් කාර්යක්ෂම සිදුකිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් වලට භාජනය කිරීමයි.
සමස්තයක් ලෙස එකට පවත්වාගෙන යනවාට වඩා මෙලෙස වෙන් කළ විට එක් එක් කොටසේ ඇති සුවිශේෂී ගුණාංග හදුනා ගැනීමට සහ එම ගුණාංග උපයෝගී කොටගෙන වඩාත් කාර්යක්ෂම නිෂ්පාදන කිරීමටත් අවස්ථාව සැලසෙයි.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම
මේ යටතේ දැනට ඒකාධිකාරය මඟින් ඉටුකරන සේවාවල ස්වභාවික ඒකාධිකාරී කොටස් හඳුනාගැනීම සිදු කළ යුතු වෙයි. විදුලිබල මණ්ඩලය සලකා බලන කල ස්වභාවික ඒකාධිකාර වශයෙන් සැලකිය හැක්කේ සම්ප්‍රේෂණ පද්ධතිය සහ බෙදාහැරීම් පද්ධතිය (ඒ හා සම්බන්ධ විදුලි රැහැන් සහ උප පොළ) පමණකි. ඒ හැර නව උත්පාදන පහසුකම් ඉදිකිරීම, විදුලි උත්පාදනය, තොග මිලදී ගැනීම හා විකිණීම, සිල්ලර විකිණීම හා පාරීභෝගික සේවා, මනුගත කිරීම හා අයකරගැනීම් ආදී ක්‍රියාකාරකම් තරඟකාරීත්වය යටතේ පවත්වාගෙන යාමේ හැකියාව ඇත.
යෝජිත ක්‍රමවේදයට අනුව ස්වභාවික ඒකාධිකාර වශයෙන් ගැනෙන සම්ප්‍රේෂණ පද්ධතිය එක් සමාගමක් යටතටත් බෙදාහැරීම් පද්ධතිය කොළඹ කේන්ද්‍රීය සමාගම් හතරක් යටතටත් පත්කිරීමට සැලසුම් කොට තිබේ. සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් දේපළ මෙම සමාගම් යටතට කිරීමට යෝජිත ය. උත්පාදිත බල ශක්තිය, සම්ප්‍රේෂණ පද්ධතිය හා බෙදාහැරීම් පද්ධතිය මඟින් පාරිභෝගිකයා අතට පත්කිරීම (wheeling)මෙම සමාගම් වල වගකීම වනු ඇත. ඒ සඳහා මෙම සමාගම් වලට ප්‍රවාහනය කළ බල ශක්තිය සඳහා තොග සහ සිල්ලර වෙළඳ සමාගම් නියමිත මිල ගෙවිය යුතුය. (මෙම wheeling සංකල්පය යෝජිත පලමු අදියරේ අන්තර්ගත නැත).
විදුලි වෙළෙඳපොළ ක්‍රමය
විදුලිය ගබඩාකර තබාගැනීම දැනට මිල අධික මෙන් ම අකාර්යක්ෂම ක්‍රියාවක් බැවින් අවශ්‍ය අවස්ථාවේ දී මිලට ගැනීම සමාන්‍ය ක්‍රමය යි. මේ හේතුව නිසා විදුලි ඉල්ලුම උච්චාවචයනය වීම ස්වභාවික ය. දවල් කාලය තුළ කර්මාන්ත හා කාර්යාල ඉල්ලුම ඉහළ යන අතර රාත්‍රී කාලයේ ගෘහීය සහ අනිකුත් ආලෝක කටයුතු සඳහ වන ඉල්ලුම ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වය යි.
විදුලි වෙළෙඳපොළ ක්‍රමය මඟින් සිදුකෙරෙන මූලික ක්‍රියාවක් වන්නේ දවසේ පැය විසි හතර පුරාම විදුලිය මිලට ගැනීම සඳහා ලංසු කැඳවා විදුලිය සැපයීම සඳහා ඔවුන්ගේ මිලගණන් අනුව උත්පාදකයින් පෙලගැස්වීමයි. මේ අනුව පාදම් බැර (Base Load – එනම් දවස පුරා කෙරෙන ප්‍රධාන විදුලි සැපයුම ) සපයන උත්පාදකයින් (ගල් අඟුරු හෝ න්‍යෂ්ටික වැනි දිගු කාලයක් එක දිගට විදුලිය සැපයිය හැකි සහ පහසුවෙන් පටන් ගැනීමට, නැවැත්වීමට හෝ අඩු වැඩි කිරීමට නොහැකි) දවසේ පැය විසි හතර පුරාම විදුලිය සැපයීම සඳහා ලංසු ඉදිරිපත් කරති. කුඩා ජලවිදුලි, සුලං සහ සූර්ය බල ශක්තිය වැනි විචල්‍ය ප්‍රභවයන් ද විදුලිය ගබඩාකර තබාගැනීමේ පහසුකම් නොමැති නම් බොහෝ විට මෙම මිලගණන් වලට ම සැපයීමට එකඟවෙති (වෙනත් විකල්ප මෙම ප්රභවයන්ට නැත).
එහෙත් දවසේ යම් වේලාවල ඉල්ලුම මෙම සැපයුම්වල ධාරිතාවේ සීමාව ඉක්මවූ විට ක්ෂනිකව සැපයුම දියහැකි විශාල ජලාශ සහිත ජල විදුලි හෝ තාප විදුලි උත්පාදකයන් හෝ වෙතින් මිලට ගැනීමට සිදුවෙයි. එක් එක් උත්පාදකයින්ගේ මිලගණන් අනුව අඩු මිල ගණන්වල සිට වැඩි මිලගණන් දක්වා ආරෝහන පිළිවෙළට මිලට ගැනීම දවසේ අදාළල වේලාවේ ඉල්ලුම උච්චාවචනය අනුව සිදුකළ යුතු වෙයි.
විදුලි වෙළෙඳපොළ සමාගමක් මඟින් ක්‍රියාත්මක වන අතර එහි ක්‍රියාකාරීන් වන්නේ තොග වෙළෙඳුන් ය. ඔවුන් බොහෝවිට කොටසක් උත්පාදකයින්ගෙන් කෙළින් ම ලබාගැනීම ද කොටසක් වෙළෙඳපොළෙන් ද ලබාගෙන සිල්ලර වෙළෙඳුන්ට අළෙවි කිරීම වෙනත් රටවල ක්‍රියාත්මක ක්‍රමවේදය යි. ඉන් පසු සිල්ලර වෙළෙඳුන් මඟින් පාරිභෝගිකයාට සැපයීම සිදු කරනු ලබයි. මේ හැර පාරිභෝගිකයාට උත්පාදකයින්ගෙන් කෙළින් ම විදුලිය ලබාගැනීම සඳහා ද වෙළෙඳපොළ මඟින් පහසුකම් සපයා තිබීම ද දක්නට ලැබෙන ක්රමයකි.
ප්‍රතිව්‍යුහගතකරණයේ ර්වතමාන තත්වය
මෙම ක්‍රියාවලිය තරමක් සංකීර්ණ බැවින් ද එය කල්ගත වන සහ වියදම් සහිත වැඩසටහනක් බැවින් ද අදියර කීපයක් හරහා මෙම වෙනස්කම් සිදුකිරීම, ශ්‍රී ලංකාවේ දැන් සැලසුම් කර ඇති ක්‍රමය යි. දැනට යෝජනා වී ඇති ප්‍රතිසංස්කරණ යටතේ 1999-2005 වකවානුවේ සිදුකරන ලද වෙනස්කම් එතැන් පටන් ඉදිරියට ගෙනයෑමට යෝජිත ය. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, මානව සම්පත් සහ නියාමන අධිකාරීන් දැනටමත් මෙම ක්ෂේත්රය තුළ පිහිටුවා ක්‍රියාත්මකව පවතින බැවින් ද, ඒ සඳහා අත්‍යවශ්‍ය දේශපාලන වූවමනාව වර්තමානයේ පවතින බැවින් ද, මෙවර මෙම උත්සාහය සාර්ථක කර ගැනීමට ඇති ශක්‍යතාවය වැඩි බව විශ්වාස කළ හැකිය.
ප්‍රතිව්‍යුහගතකරණයේ මුල් අදියර වශයෙන් සැලකිය හැකි මෙම වැඩ පිළිවෙළ යටතේ විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණ, බෙදිහැරීම සහ තොග වෙළෙඳාම එකිනෙකින් වෙන් කිරීමටත් ඒවා වෙන් වෙන් වශයෙන් හැසිරවීම සඳහා දැනට පවතින විදුලිබල මණ්ඩලයේ අදාළ කොටස් වෙන වෙන ම සමාගම් ලෙස ලියාපදිංචි කිරීමටත් යෝජිත ය. මේ අනුව එක් එක් සමාගම් තමන්ගේ ගිනුම් වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යා යුතු වන අතර ඒම සමාගම්වල ලාභ අලාභ සඳහා අදාළ නිලධාරීහු වගකිව යුත්තෝ ය.
මෙලෙස ප්‍රතිව්‍යුහගතකරණයේ මුල් අවදියේ දී ආයතනික ව්‍යුහයේ වෙනස්කම් සිදු කිරීම් තුළින් විදුලි නිශ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩිකිරීමට අපෙක්ෂිත අතර විදුලි පරිහරණයේ කාර්යක්ෂමතාවය වැඩිකිරීම සඳහාද පියවර ගැනෙනු ඇත. ඒ යටතේ දැනට භාවිත වන ක්‍රමය වන නිශ්පාදන වියදමට අඩුවෙන් නිශ්පාදිතය විකිණීම නවතා දැමීමට කටයුතු යොදනු ඇත. ඒ සඳහා දැනටමත් මිල සංශොධන සිදුකර ඇති අතර ඉදිරියේ දී තව දුරටත් නිශ්පාදන වියදම මත පදනම් වූ මිලක් (cost based tariff) දක්වා සංශෝධනය විය හැකි අතර නිශ්පාදන වියදම අඩුකිරීම මගින් විකුණුම් මිල හා ගැලපුම් කර ආයතනයට දැරීමට වන මූල්‍ය අලාභය නැතිකර ගැනීමට අනුබල දීම මේ අනුව සිදුවිය යුතු ය. ඒ සඳහා දැනට විදුලි මිලෙහි අන්තර්ගත සහනාධාර කොටස ඉදිරීයේදී ඉවත්කොට සහනාධාර අවශ්‍ය පාරිභෝගිකයින්ට පමණක් කෙලින්ම මූල්‍යාධාරයක් භාණඩාගාරයෙන් ගෙවීමට කටයුතු යෙදිය යුතු ය..
නිශ්පාදන වියදම මත පදනම් වූ මිලකට (cost based tariff) විකිණීම යනු නිශ්පාදකයාගේ අකාර්යක්ෂමතාද ඇතුළත් වූ මිලකට විදුලිය විකිණීම යි. දැනට මෙම නිශ්පාදකයාගේ අකාර්යක්ෂමතා ද ඇතුළත් වූ නිශ්පාදන වියදමෙන් එක් කොටසක් ඒකක 180ට වැඩි පාරිභෝගිකයින් විසින් ද ඉතිරිය රජය විසින් ද දරනු ලබයි. මෙම විෂමතාවය ඉවත් කිරීම මෙන් ම මහජන මුදලින් ප්‍රතිපූර්ණය කරන කොටස අහෝසි කිරීම ද නිශ්පාදන වියදම අඩුකර පාරිභෝගිකයාටත්, උත්පාදකයාටත්, යන දෙපක්ෂයට ම එකඟ විය හැකි මිලකට විදුලිය සැපයීමද ප්‍රතිව්‍යුහගතකරණයෙන් අපෙක්ෂිත ප්රතිඵලයකි.
නිශ්පාදන වියදම අඩුකිරීම යටතේ ශ්‍රම ඵලදායී බව ඉහළ නැංවීමටත්, අතිරික්ත ශ්‍රමිකයන් ඉවත් කිරීමටත්, සිදුවිය හැකි අතර ඇතිකිරීමට නියමිත සමාගම් අතර තරඟකාරීත්වය ඇතිකිරීම තුළින් කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට මුල් අදියරේ දී අපෙක්ෂිත ය. එබැවින් මෙම සමාගම් පුද්ගලිකකරණය කිරීම මුල් අදියරේ දී අවශ්‍ය නොවෙතත් නව විදුලි උත්පාදන පිරියත (new generating plant) ලබාගැනීම සඳහා පෞද්ගලික ප්රාග්ධනය යොදාගැනීම අනිවාර් ය වනු ඇත. තව ද, එක ම විදුලි තොග මිල දී ගන්නා වීමට නියමිත සම්ප්‍රේෂණ සමාගම නැවතත් ඒකාධිකාරයක් වන බැවින්, නියාමන අධිකාරියේ අපක්ෂපාතී ක්‍රියාකාරිත්වය ඉතා වැදගත් වෙයි. මෙහි දී දැනට අමාත්‍යංශයක් යටතේ පවතින නියාමන අධිකාරිය ආණ්ඩුවේ බලපෑමෙන් වියුක්තව කටයුතු කළ හැකි වන ලෙස ස්ථානගත කිරීම ද අවශ්‍ය වෙයි.
දැනට යෝජිත මූලික ප්‍රතිසංස්කරණ යටතේ අතිරික්ත ශ්‍රමිකයන් ඉවත් කිරීමට සිදුවුව ද ප්‍රතිව්‍යුහගතකරණ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයාමේ දී වෙනත් ක්ෂේත්‍ර වල ශ්‍රමිකයන්ගේ සේවය සහ තාක්ෂණීක යටිතල පහසුකම් වල ප්‍රසාරණය විශාල වශයෙන් අවශ්‍ය වන බවත්, ඒ තුළින් පුලුල් පරාසයක ගුණාත්මක රැකියා අවස්ථා රැසක් අලුතින් බිහිවීමට ද නියමිත ය.
කීර් ති ගොඩිගමුව
