ජනාධිපතිතුමාගේ කථාව ධනාත්මකයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

 

සමස්ත කතාව ඇසුවාම ධනාත්මක හරාත්මක කතාවක්. දේශපාලනයේ කථා කිරීම හා ක්‍රියාව අතර ලොකු පරතරයක් තිබෙනවා. සමස්තයක් විදියට කථාවේ අඩංගු වූ කරුණු ධනාත්මකයි. කථාවෙන් කී දේ යථාර්ථයක් වේ යැයි හිතමු. සර්ව පාක්ෂික ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක විය යුතු අයුරු ගැන මෙහි ප්‍රතිපාදන සකස් වෙලා තිබෙනවා. එය සාධනීය කරුණක්. පක්ෂ නායකයන්ගෙන් සමන්විත සභාවක් හරහා කටයුතු කිරීම, පොදු ජනතාවගේ සහභාගිත්ව පාලනයට මහජන සභාවක් නිර්මාණය වීම, අධීක්ෂණ කමිටු ක්‍රියාවට නැංවීම යනාදිය සම්බන්ධයෙන් එතුමාගේ කථාවේ කිය වුණා.

පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු වර්තමාන බලතලවලින් ඔබ්බට ගිය පාර්ලිමේන්තු බලතල ශක්තිමත් වන කමිටු ක්‍රමයක් හරහා ක්‍රියාත්මක විය යුතුයි. ඉදිරි සර්ව පාක්ෂික වැඩපිළිවෙළක කොටස් තුන සඳහන්ව තිබෙනවා. ඇමැති කටු සූප්පු කරලා අවස්ථාවාදී සර්වපාක්ෂික පාලනයකට ප්‍රවිෂ්ට වීමට කවුරු හරි හිතනවා නම් එය ජනතාවාදී සර්වපාක්ෂික ක්‍රමයක් නොවෙයි. එය ජනතාවගේ කරපිට තවත් බරක් පටවන පාලනයක්. එවැනි දෙයක් අඩංගු නොවීම ගැන මම සතුටුයි.

මේ ගැන අපට ධනාත්මකව හිතන්න පුළුවන්. වත්මන් ජනාධිපතිවරයාට දශක ගණනාවක අත්දැකීම් තිබෙනවා. මන්ත්‍රී දඩයම, මන්ත්‍රී වරදාන වරප්‍රසාද ඇමැති තනතුරුවලට හැරවීම තුළ රටට කිසිම සුගතියක් අත්පත්ව නැහැ. එතැනදී සිදු වන්නේ මහජනතාවගේ කරපිට තව තවත් බර පැටවීම. ඒක මේ කතාවේ නැහැ. මන්ත්‍රී දඩයම් සහ කැබිනට් කටු සූප්පු කරන දේශපාලනය මෙහි නැහැ.

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *