ඩොලර් ප්‍රශ්න විසඳුවා ; දැන් තිබෙන්නේ ගෙන්වීමේ ප්‍රමාදය පමණයි – එජාප ප්‍රබලයෝ කියති

මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට තිබු විදේශ විනිමය ප්‍රශ්න මේ වනවිට බොහෝ දුරට විසඳා ඇති බවත්, මේ වනවිට ප්‍රමාදයක් තිබෙන්නේ භාණ්ඩ ගෙන්වා ගැනීමට බවත්, එජාප ප්‍රබලයෝ ප්‍රකාශ කරති.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා සිරිකොත රැස්වීමක දී ප්‍රකාශ කොට ඇත්තේ මුදල් ගෙවීමට නොහැකිව මුහුදේ නැව් රස්තියාදු වීම හෝ මුදාගත නොහැකිව කන්ටේනර් දහස් ගණනින් වරායේ සිරවී තිබීම හෝ දැන් සිදු නොවන බවයි. ගෑස් ,තෙල්, පොහොර, සහ අත්‍යවශ්‍ය සැපයුම් සඳහා මුදල් සොයාගෙන ඇනවුම් ලබා  දී අවසන් බව ද, ඒ මහතා කියයි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය භාරගැනීමෙන් පසුව මෙම ප්‍රශ්න ක්‍රමානුකුල ලෙස විසඳමින් සිටින බවත්, ඔහුට තව කෙටි කාලයක් ලබාදිය යුතු බවත් එජාප ප්‍රධාන ලේකම් රංගේ බණ්ඩාර මහතා ද ප්‍රකාශ කොට ඇත.

රජය ඇනවුම් කොට ඇති ගෑස් ටොන් ලක්ෂයක් හෙට සිට මෙරටට ලැබීමට නියමිත ය. යුරියා ටොන් 65,000 ක් 8 දා ලැබීමට නියනිතව ඇත. බලශක්ති ඇමතිවරයා කියන්නේ ඉන්ධන නැව් 10 ක් මේ මාසයේ ඇනවුම් කොට ඇති බවයි.

වසර එකහමාරක් ඖෂධ ලබා ගැනීමට ප්‍රමාණවත් මුදල් ලබන මාසයේ ලැබෙන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කොට ඇත.

අත්‍යවශ්‍ය ආනයන සඳහා මුදල් සොයාදීම අගමැති කාර්යාලයේ සිට සම්බන්දීකරනය කිරීම අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක මහතා විසින් සිදුකරන බව වාර්තා වෙයි.

මේ අනුව හදිසි අවශ්‍යතා සඳහා ඩොලර් ප්‍රශ්න බොහෝ දුරට විසඳා අවසන් බව එජාප නායකයෝ කියති. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරය භාරගෙන තවමත් මාස දෙකක් වත් ගතවී නැති බව ද ඔවුහු පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *