ධම්මික පෙරේරාගේ මන්ත්‍රී ධුරය අධිකරණයේ දී නවතී

තම පත්වීමට එරෙහිව අධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කොට අවසන් වන තෙක් මන්ත්‍රීවරයකු ලෙස හා ඇමතිවරයකු ලෙස දිව්රුම් දීමෙන් වලකින බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රේෂ්ටාධිකරණයට අද පොරොන්දු වූ බව වාර්තා වෙයි. ඒ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මේ බව අධිකරණයට දැනුම් දී තිබේ.

ධම්මික පෙරේරා මහතාගේ පත්වීමට එරෙහිව ගොනු කොට ඇති පෙසම් ගණනාවක් ශ්‍රේෂ්ටාධිකරණය ඉදිරියේ අද සලකා බැලු අවස්ථාවේ මෙම පොරොන්දුව ලබා දී තිබේ.

මන්ත්‍රීවරයකු ලෙස ධම්මික පෙරේරා මහතා දිව්රුම් දීම වලාක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා තිබු අතර ඒ පිලිබඳ තීන්දුවක් දීමට පෙර ධම්මික පෙරේරා මහතා අධිකරණයට මෙම පොරොන්දුව ලබා දී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරා මහතා පත්කර තිබු අතර ඒ මහතා හෙට (21දා) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට නියමිතව තිබිණි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, සමාජ ක්‍රියාකාරික ගාමිණී වියන්ගොඩ, නීතිඥ නගානන්ද කොඩිතුවක්කු ඇතුළු පිරිසක් මෙම පත්වීමට එරෙහිව ශ්‍රේෂ්ටාධිකරණයේ පෙත්සම් ගොනු කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *