දොට්ට දාන්න පෙර ගිය බැසිල්

සතියේ දේශපාලනය තුළ ආන්දෝලාත්මක සිදුවීම් බවට පත්වුයේ තනතුරුවලින් ඉල්ලා අස්වීම් සහ අලුතින් පත්කිරීම් ය. හිටපු මුදල් ඇමති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම එයින් කැපී පෙනෙන සිදුවීමක් වී ය. එයට හේතු වුයේ ඒ මහතාට ජනතාවගෙන් බරපතළ විරෝධයක් එල්ල වුව ද, මෙලෙස ඉල්ලා අස්වීම බොහෝ දෙනා අපේක්ෂා නොකර සිටීමයි.
දොට්ට දමන්න පෙර ඉල්ලා අස්වුණා
බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය මගින් ඒ මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට සැලසුම් ක්‍රියාත්මක වෙමින් තිබිය දී ය. එයට එරෙහිව බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුට හිතවත් කණ්ඩායම ප්‍රබල සටනක් කරනු ඇතැයි අපේක්ෂා කළ ද, දේශපාලනය හැරී තිබුණේ ඔහුට ඉතාමත් අවාසිදායක ආකාරයෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී පිරිසකගේ සහය ඔහුට අහිමි වී ය. අවසානය දක්වා ඔහු සමග සිටි සංඛ්‍යාව 14 බවත්, එයින් ද, දෙදෙනකු ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම විසින් යවා තිබු අය බවත්, දේශපාලන ආරංචි මාර්ග කී කතාවකි. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් දොට්ට දමන්නට පෙර ඉල්ලා අස්වන්නේ එබඳු තත්ත්වයක් යටතේ ය.
ඉල්ලා අස්වීම දැනුම් දීමට බැසිල් රාජපක්ෂ මහතා පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ඔහු අපුරු කතා ටිකක් කීවේ ය. රාජපක්ෂලාට දේශපාලනය පුළුවන් වුණත්, රාජ්‍ය පාලනය බැරි බව ඔප්පු වී ඇති බව ඔහු කී ය. බැසිල් කීවේ තමන්ට බැරි වූ බව නොව රාජපක්ෂලාට බැරි බවකි. එය තවත් තැන්වලට වදින කතාවකි. කෙසේ වෙතත්, මින් මතු දේශපාලනය කළත් රාජ්‍ය පාලනයට නොඑන බව ඔහු ශපත කළේය.
බැසිල් කීවේ තමන් මෙවර දේශපාලනයට ආවේ අරමුණු දෙකක් ඉටු කර ගැනීමට බව යි. එනම් මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට පත් කිරීමට සහ තමන්ට තිබු නඩු විසඳා ගන්නට ය. එම අරමුණු දෙක ඉටු වී ඇත. ඔහුට තිබු අවසන් නඩුවෙන් ද ඔහු ගැළවුණේ සති දෙකකට පෙර දී ය.
මෙම අර්බුදයට ජනතාව ද වග කිව යුතු බව ද බැසිල් කී ය. ඒ ගැන ප්‍රශ්න කළ විට ඔහු කීවේ තම කණ්ඩායම බලයට පත් කළේ ජනතාව බව යි.
අහසින් පාත්වුණු ධම්මික
ඉල්ලා අස් වූ බැසිල් රාජපක්ෂ මහතාගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පුරප්පාඩුව පිරවීම ද සිදුවුයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කරමිනි. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් අතරින් නම් තුනක් ඉදිරිපත්ව තිබිණී. විලී ගමගේ, රේණුක පෙරේරා, සහ සිරිපාල අමරසිංහ මහත්වරුන්ගේ නම් එලෙස යෝජනා වී තිබිණි. ඊට අමතරව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ජගත් වැල්ලවත්ත, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ යන නම් ද කියවිණි. ඒ සියලු දෙනා පක්ෂය වෙනුවෙන් දර දිය අදිමින්, බැට කමින් මහන්සි වූ උදවිය යි.
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පොදුජන පෙරමුණට අහසින් පාත්වන්නේ එබඳු තත්ත්වයක් තිබියදී ය.
එය සිදුවුයේ ද ලහි ලහියේ ය. බැසිල් රාජපක්ෂ මහතා තම ඉල්ලා අස්වීම භාරදුන්නේ 9 දා බ්‍රහස්පතින්දා පස්වරුවේ ය. ධම්මික පෙරේරා මහතා තම සමාගම්වල අධ්යක්ෂ තනතුරුවලින් ඉවත්වීම ද එදා ම සිදුවීය. ඒ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම, මන්ත්‍රී ධුරයට නම යෝජනා කිරීම පසුදින සිදු වූ අතර මන්ත්‍රී පත්වීම ගැසට් කිරීම ද සිකුරාදා ම සිදුවීය.
9 දා රාත්‍රියේ ජනාධිපතිගේ අති විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් වී ය. එමගින් නව අමාත්‍යංශ දෙකක් ප්‍රකාශයට පත් කොට තිබිණි. එනම් ආයෝජන ප්‍රවර්ධන සහ තාක්ෂණ අමාත්‍යංශය සහ ළමා සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය යි. ඉතා බලගතු අමාත්‍යංශයක් ලෙස සකස් කොට තිබු පළමුවැන්න ධම්මික පෙරේරා මහතා වෙනුවෙන් ය යන්න දේශපාලන විචාරකයින්ගේ මතය වී ය.
ධම්මික රනිල්ගේ ගෙදර යයි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පස්වන පටුමගේ නිවසට සෙනසුරාදා ගිය ධම්මික පෙරේර මහතා සුහද කතාබහක යෙදුණේ ය. එය සීමා වුයේ පවතින ආර්ථික දේශපාලන තත්ත්වය පිලිබඳ කතා බහකට ය.
ධම්මික පෙරේරා මහතාගේ පත්කිරීම සහ ඔහුට ඇමති ධුරයක් ලබාදීම ගැන ජනාධිපතිතුමා අගමැතිතුමාගේ අදහස් විමසන ලද්දේ ඔහු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීමෙන් පසු 11 දා සෙනසුරාදා ය. එයට විරෝධයක් පළ නොකළ රනිල් වික්‍රමසිංහ මහතා කීවේ මෙම පත්වීමේ නීත්‍යානුකුල තත්ත්වය ගැන සැලකිලිමත් වන ලෙසයි. ඇමැති ධුරයකට පත් කිරීමෙන් පසු ප්‍රශ්නයක් ඇති වුවහොත් එය ජනාධිපතිතුමාගේ දේශපාලන පසුබැස්මකට හේතු වන බව වික්‍රමසිංහ මහතාගේ අදහස වී ඇත.
ධම්මික පෙරේරා යනු ප්‍රායෝගික නොවන දේ කතාකරන කයිවාරුකාරයෙකු බවට අදහසක් ද දේශපාලන අංශවල පවතියි. එම නිසා සහ ඔහුගේ ව්‍යාපාරික පසුබිම නිසා ධම්මික පෙරේරාගේ ආගමනයට විරෝධයක් ද පවතියි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධම්මික පෙරේරා මහතා ගැන දරන ආකල්පය මීට පෙර සිදුවීමකින් තේරුම් ගත හැකිවෙයි. එය සිදුවුයේ යහපාලන ආණ්ඩු සමයේ ය. ආර්ථිකය ගැන දේශනයක් පැවැත්වූ ධම්මික පෙරේරා මහතා රජය කළ යුතු බොහෝ දේ ගැන අදහස් දැක්වීය. එයට විශාල ප්‍රචාරයක් ද ලැබී තිබිණි.
සල්ලි සොයාගන්න හැටි කීවේ නැහැ
එම දේශනය ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසු විට ලබා දුන්නේ කෙටි පිළිතුරකි. “ රජය කරන්න ඕනෑ වැඩ ගැන ඉතා හොඳ අදහස් රාශියක් ධම්මික පෙරේරා මහතා කීවා. ඔහු නොකිව්වේ එක ම එක දෙයයි. ඒ වැඩ කරන්න සල්ලි හොයා ගන්න හැටි ඔහු කීවේ නැහැ. ඔහු නොකිව්වේ එච්චරයි” රනිල් වික්‍රමසිංහ මහතා දුන් පිළිතුර යි.
සතියේ තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් වුයේ විදුලි බල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනන්ඩු මහතා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව ඉදිරියේ කළ ප්‍රකාශයක් පසුව ඉල්ලා අස්කර ගැනීමත්, ඉන් පසුව ඒ මහතා ඉල්ලා අස්වීමත් වටා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය යි. එය ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ දේශපාලනයට පවා කම්පනයක් ඇති කළ සිදුවීමකි.
පසුගිය 10 දා සිකුරාදා කෝප් කමිටුවේ විමර්ශනයට ලක් වුයේ ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙනි. එහි දී මතු වූ එක් ප්‍රශ්නයක් නම් මන්නාරමේ සහ පුනරීන් හි සුළං බල ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවේ අදානී සමාගමට අවස්ථාව ලබාදීමයි. විදුලි බල මණ්ඩල සභාපතිවරයා කට වරද්දා ගත්තේ එහි දී ය. ඔහු කළ වරද නම් නොකිව යුත්තක් කීම යි.
පසුගිය වසරේ නොවැම්බර් 22 දා හෝ ආසන්න දිනක දී ජනාධිපතිතුමා තමාට කතා කොට සුළං බල ව්‍යාපෘතිය අදානි සමාගමට දෙන ලෙස ඉන්දීය අගමැතිවරයා තමාට බල කරන බව කියා ඒ අනුව කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළ බව ෆර්ඩිනන්ඩු මහතා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.
මානසිකව අවුල් වූ ෆර්ඩිනන්දු
එම ප්‍රකාශයෙන් දේශපාලන ගින්නක් අවුළුවන්නට ගියේ සුළු මොහොතකි. ජනාධිපති තුමා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය. කළ වරද තේරුම් ගත් ෆර්ඩිනන්ඩු මහතා තම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත්, කොන්දේසි විරහිතව සමාව ඉල්ලන බවත්, දන්වා කෝප් කමිටුවට ලිපියක් යැවීය. තමන් ඒ මොහොතේ සිටි අවුල් වූ මානසික තත්ත්වය නිසා එවැන්නක් සිදු වූ බව ඒ මහතා කීය.
ෆර්ඩිනන්ඩු මහතා තම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්ත ද, ඔහු විසින් කෝප් කමිටුවට ලබාදුන් 2021 නොවැම්බර් 25 දරන ලිපියකින් පෙනී ගියේ ඔහුගේ මුල් ප්‍රකාශය තහවුරු වන තත්ත්වයකි. මුදල් අමාත්‍යංශ ලේකම් වෙත යොමු කොට තිබු එම ලිපියෙන් කියන්නේ ජනාධිපතිගේ උපදෙස් අනුව රජයකින් රජයකට වන ව්‍යාපෘතියක් ලෙස අදාළ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට මැදිහත් වන ලෙසයි. පසුව කරුණු සිදුවන්නේ ද ඒ ආකාරයෙනි.
සිදුවීමේ බරපතළකම වන්නේ එය දැන් ඉන්දියාවේ ද දේශපාලනය කළඹන කරුණක් වී තිබීම යි. ඉන්දීය කොන්ග්රස් නායක රාවුල් ගාන්ධි මහතා ප්‍රකාශ කළේ අගමැති මෝදී මහතාගේ ගජමිතුරු සංග්‍රහය පෝක් සමුද්‍ර සන්ධිය ද ඉක්මවා ගොස් ඇති බව යි.
මේ වන විට ෆර්ඩිනන්ඩු මහතා විදුලි බල මණ්ඩල සභාපති ධුරයෙන් ඉවත් වී ඇතත් ඔහුගේ ප්‍රකාශය මගින් ඇති කළ කලබැගෑනිය තවදුරටත් පවතිනු ඇත.
නායකයා ඩලස්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධින වීමෙන් පසු වර්ධනය වූ දේශපාලන අර්බුදය අතර එම පක්ෂයේ විකල්ප නායකත්වයක් පිලිබඳ විවිධ වාර්තා පලවෙමින් තිබිණි. එම වාර්තා මගින් කියවුණේ ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් නව පක්ෂයක් සහ පෙරමුණක් බිහිවීමට නියමිත බව යි. අගමැති තනතුර සඳහා ද ඩලස්ගේ නම යෝජනා වුව ද ඒ මහතා එය ප්‍රතික්ෂේප කළ අතර රට ස්ථාවර කිරීමට අගමැති රනිල්ට සහය දීමේ ස්ථාවරයක සිටියේය.
කෙසේ වෙතත්, ඩලස් කණ්ඩායමේ දේශපාලන ආගමනයක් යැයි කිව හැකි සිදුවීමක් පසුගිය සිකුරාදා සිදුවීය. ඒ එම කණ්ඩායමේ මන්ත්‍රී පිරිසක් මැතිවරණ කොමිසම හමුවීමත් සමග ය. මැතිවරණ ක්රමයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කර ගැනීම ඔවුන්ගේ ගමනේ ප්‍රකාශිත අරමුණ වී තිබිණී.
ඩලස් අලහප්පෙරුම මහතා සමග මහාචාර්ය චරිත හේරත්, දිලාන් පෙරේරා, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, නීතිඥ උදයන කිරිදියගොඩ, මහාචාර්ය ගුණපාල රත්නසේකර, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරුන් දහසය දෙනෙකු මෙම ගමනට එක්ව සිටියහ. ඔවුන් කියා සිටියේ මේ මොහොතේ කළ යුත්තේ මැතිවරණ ඉල්ලීම නොව ඉදිරියේ පවත්වන මැතිවරණ කළු සල්ලි මත තීරණය නොවන සාධාරණ මැතිවරණ වීම සහතික කර ගැනීම බව යි.
දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් විනිවිද භාවයක් පැවතිය යුතු බවත්, ඒවායේ ව්‍යවස්ථා, නිලධාරීන් ආදී තොරතුරු ඡන්දදායකයාට විවෘත විය යුතු බවත්, කී ඔවුහු අපුරු රහසක් ද හෙළි කළේය. තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිලධාරීන් තිදෙනකු හැර අනෙක් අය කවුදැයි තමන් පවා නොදන්නා බව ඔවුහු හෙළිදරව් කළහ.
රජයට එකතුවීමට සාකච්ඡා
විපක්ෂ මන්ත්‍රීවරුන් රජයට එකතුවීම සඳහා කරන සාකච්ඡා ගැන වාර්තා ගණනාවක් ලැබී තිබේ. අගමැති රනිල් දැඩි ලෙස විවේචනය කරමින් සිටි විපක්ෂයේ ප්‍රබලයකු ආණ්ඩුවට එකතුවීමට සාකච්ඡා කරමින් සිටීම එක් සිදුවීමකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කොට තිබීම තවත් වර්ධනයකි. දසනායක මන්ත්‍රීවරයා කියන්නේ තමා තනියම හෝ එම තීරණය ගන්නා බවයි.
මෙම ප්‍රශ්න පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක දී තවත් අපුරු තොරතුරක් හෙළිදරව් කළේ පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ය. ඔහු කීවේ රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධුරය භාරගන්නා ලෙස තම පක්ෂයේ පිරිසක් ද ඒ මහතා හමු වී ඇවිටිලි කළ බව යි. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක , චාමර සම්පත් දසනායක, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායමක් එම ගමනට එක වූ බව ඒ මහතා කී ය.
ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ දහයට නායකත්වය දෙන විමල් වීරවංශ මහතා ද ඉහත කී තොරතුර තහවුරු කළේ රුපවාහිනී සාකච්ඡාවකට එක් වෙමිනි. ඔහු කීවේ රනිල්ට අගමැතිකම දෙන්න ජනාධිපතිගේ මනස සකස් කළේ ද මෙම පිරිස බව යි. කිහිපවරක් ජනාධිපති හමුවෙමින් ඔවුන් එසේ කළේ ඇමතිකම් ලබාගැනීම සඳහා බව වීරවංශ මහතා කීවේය.
“ ගංවතුර කාලෙට නයාත් , මුගටියාත් එක කොටේ යන” බවට සිංහල කියමනක් ඇත. ඒ කියන්නේ පරම සතුරන් වන නයාත්, මුගටියාත් ගංවතුරේ කොටේට ගොඩ වී යන විට මරාගන්නේ නැති බව යි. එම කතාව සිහිගන්වන කතාවක් ඉහත කී සාකච්ඡාවේ දී විමල් වීරවංශ මහතා ද කීය. ඔහු කීවේ මේ මොහොතේ ප්‍රධාන සතුරා ආර්ථික අර්බුදය බව යි. එයට මුහුණ දීමේ වගකීම ගන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට වුව ද සහය දිය යුතු බව ඒ මහතා ප්‍රකාශ කළේය. “ දැන් ප්රශ්නය තිබෙන්නේ භේද වී වැනසෙනවා ද ? එකතු වී රැකෙනවා ද? “ යනුවෙන් බව වීරවංශ මහතා පැවසීය. එබැවින් රනිල්ටත් විමල්ටත් දැන් එක ගමනක් යා හැකිය. නයාත් , මුගටියාත් එක කොටේ යනවා කියන්නේ ඒකට ය.
සී ජේ
දේශපාලන සතිය
අනිද්දා
