ජනාධිපති සමග ගැටුමක් නැහැ ; 21 එතුමාගේ පොරොන්දුවක් – අගමැති විදෙස් මාධ්‍යයට කියයි

 

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා සමග ගැටුමක් නැති බවත්, සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳා ගන්නා බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය එතුමාගේ පොරොන්දුවක් බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

තමන් ගන්නා තීරණ ජනාධිපතිතුමාට දන්වන බවත්, එතුමා ගන්නා තීරණ තමන්ට දැනුම්දෙන බවත්, කැබිනට මණ්ඩලයේ සාකච්ඡා කොට ප්‍රශ්න විසඳා ගන්නා බවත්, අගමැතිතුමා වැඩි දුරටත් පවසයි.

21 ව්‍යවස්ථා සංශෝධනයේ පක්ෂවල යෝජනා ඇතුළත් කෙටුම්පත සැකසීම එදින සවස 3.00 පමණ වන තෙක් සිදු වූ බවත්, එබැවින් එදින කැබිනට් මණ්ඩලයට පිටපත් ලබාදීම ප්‍රමාද වීම නිසා තීරණයක් ගැනීමට නොහැකි වූ නමුත් ඉදිරි කැබිනට රැස්වීමේ දී ඒ පිළිබඳව තීරණයක් ගත හැකි වනු ඇතැයි ද අගමැතිතුමා කියයි.

ඉන්දියාවේ වියොන් නාලිකාවේ ගෝලීය නායකයින් පිලිබඳ වැඩ සටහන් මාලාවේ මෙවර වැඩ සටහනට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙබඳු තොරතුරු ගණනාවක් හෙළිදරව් කොට ඇත.

ඒ මහතා වැඩි දුරටත් කියන්නේ අගමැති ධුරය ලබාගන්නා ලෙස ආණ්ඩු පක්ෂයෙන් මෙන් ම විපක්ෂයෙන් ද තමන්ට මුල සිට ම ඉල්ලීම් ඉදරිපත් වූ බවත්, එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් තමා කීවේ ආණ්ඩු පක්ෂයෙන් අගමැති පත් නොවනවා නම් ප්‍රථම අවස්ථාව දිය යුත්තේ විපක්ෂ නායක තුමාට

බව යි. විපක්ෂ නායක තුමාත්, පසුව සරත් ෆොන්සේකා මහතාත්, එය ප්‍රතික්ෂේප කළ බවත්, තමන් අගමැති ධුරය භාරගත්තේ වෙනත් කිසිවකු ඉදිරිපත් නොවූ තත්ත්වයක් තුළ බවත් වික්‍රමසිංහ මහතා කියයි.

මේ වනවිට ආණ්ඩු පක්ෂය කණ්ඩායම් ගණනාවකට කැඩී ඇති බවත්, ඉන් පිරිසක් විදුලිබල පනතට විරුද්ධව විපක්ෂය සමග එක්ව ඡන්දය දුන් බවත් කී වික්‍රමසිංහ මහතා විපක්ෂය ද මේ වනවිට කණ්ඩායම් ලෙස බෙදී ඇති බව ද කී ය. අගමැතිතුමා වියොන් නාලිකාවට කීවේ දෙපාර්ශවයේම පසු පෙළ සහය තමන්ට ඇති බව යි.

ආර්ථික, දේශපාලන අර්බුදයෙන් රට ගොඩ ගෙන ස්ථාවර කරන්නට මාස 18 ක් පමණ ගතවනු ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *