මුදල් ඇමති බැසිල්ගේ වැඩ ලක්ෂය වසරකින් කල් දමන්නැයි මහ බැංකු අධිපති රජයට කියයි

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරන ලද වැඩ ලක්ෂයේ ව්‍යාපෘතිය වසරකින් කල් දැමිය යුතු බව මහ බැංකු අධිපති අජ්ජිත් නිවාඩ් කබ්රාල් මහතා රජයට නිර්දේශ කොට තිබේ

එමෙන් ම රටේ අලුතින් ආරම්භ කෙරුණු  සංවර්ධන ව්‍යාපෘති සියල්ල වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත්තේ ඒවා ක්‍රියාත්මක කිරීමට මුදල් නොමැති බව පෙන්වා දෙමිනි.

මේ වනවිට රටේ පවතින මූල්‍යමය තත්වය  සැලකිල්ලට ගෙන මෙම නිර්දේශය කර ඇතැයි  එම බැංකු ආරංචි මාර්ග කියයි.

රටේ මේ වනවිට රුපියල් වශයෙන් ඇති මුදල් ප්‍රමාණයේද බරපතළ පහත වැටීමක්  පවතින හෙයින්  මෙවැනි ක්‍රියාමාර්ගවලට  අනිවාර්යෙන්ම යොමුවිය යුතු බව  පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන   ව්‍යාපෘති කෙටි කාලයකට තාවකාලිකව  නතර කිරීමෙන් රටේ ආර්ථිකයට ලොකු ගැටළුවක්  ඇති නොවනු ඇතැයිද සඳහන් කරයි.

මේ දක්වා මහ බැංකුව කරමින් සිටියේ වැඩි වැඩියෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් රජයේ කටයුතු සඳහා වියදම් කිරීමයි. වත්මන් ආර්ථික අර්බුදයට එය ප්‍රධාන හේතුවක් වූ බව ආර්ථික විශේෂඥයින්ගේ මතය වී තිබේ.

අවසානයේ ශ්‍රී ලංකා මහ බැංකුව රජයට මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ  ආර්ථිකය සම්බන්ධ  විශේෂඥයන් හා විද්වතුන් රැසකගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීමෙන් පසුව බව  දැනගන්න  ඇත.

මේ අතර  පිටරටින් ගෙන්වනු ලබන සුඛෝපභෝගී භාණ්ඩ  තහනම් කිරීම වෙනුවට  ඒවායින්  අධික තීරු බද්දක්  අය කිරීමට කටයුතු කරන ලෙසටද  ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නැවත වරක්  නිර්දේශ කර ඇත.

සුඛෝපභෝගී භාණ්ඩ තහනම් කිරීමෙන්  ඇතැම් නිලධාරීන්ට  සන්තෝසම් දී භාණ්ඩ  ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් තීරු බදු වැඩි කිරීමේ  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන්  රජයට ලොකු ආදායමක් ලබාගත හැකි වනු ඇති බවත්  එම බැංකුව වැඩිදුරටත්   සඳහන් කරයි.

ආනයන භාණ්ඩවල තීරු බදු වැඩි කරන ලෙස මහ බැංකුව නිර්දේශ කොට තිබුන ද මුදල් අමාත්යංශය කළේ ඇතැම් භාණ්ඩ තහනම් කිරීම සහ ආනයන බලපත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමයි. මහ බැංකුව කියන්නේ එමගින් බදු ආදායම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වන බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *