යුක්රේනයේ රුසියානු ආක්‍රමණයට එරෙහි යෝජනාව එජා සංවිධානයේ අති බහුතරයකින් සම්මතයි ; පක්ෂව 141 යි, විපක්ෂව පහයි

 

රුසියානු හමුදා යුක්රේනයේ සිදු කරන ආක්‍රමණය කොන්දේසි විරහිතව නතර කළ යුතු බවට එකසත් ජාතීන්ගේ මහ සමුළුවට ඉදිරිපත් වූ  යෝජනාව අති විශාල වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත.

එක්සත් ජාතීන්ගේ මහ සභාව සාමාජික රටවල් 193 කින් සමන්විත වන අතර, මෙම යෝජනාවට පක්ෂව රටවල් 141 ඡන්දය ලබා දුන් අතර විපක්ෂව ඡන්දය දුන්නේ රටවල් පහක් පමණී.

ආක්‍රමණය සිදු කළ රුසියාව, එයට සහය දුන් බෙලරුසය හැරුණු විට උතුරු කොරියාව, එරිත්‍රියාව සහ සිරියාව මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දී ඇත.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ, චීනය ඇතුළු සාමාජික රටවල් 35 ක් මෙම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී ඇත.

එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ සභාපති අබ්දුල්ලා ෂහීඞ් මෙම යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවේ දී සමුළුවට එක් වී සිටි සියලුම තානාපතිවරු සතුටට පත්ව අසුන්වලින් නැගිට අත්පොළසන් දුන්හ. කෙසේ නමුත් සභාපති අබ්දුල්ලා ෂහීඞ් යෝජනාව ඉදිරිපත් කිරීමට එම අත්පොලසන් හඬ බාධාවක් වී තිබේ.

රුසියාව වහාම, කොන්දේසි විරහිතව තම හමුදා සම්පුර්ණයෙන්ම යුක්රේනයෙන් ඉවත් කරගත යුතු බව එම යෝජනාවේ සඳහන් වෙයි. මෙම යෝජනාවට රටවල් 90 ක් අනුග්‍රහය දැක්වූ අතර මෙම යෝජනාව සම්මත කිරීමට මහ සමුළුවේ 2/3 බහුතර කැමැත්ත අවශ්‍ය විය.

“මෙම යෝජනාව සම්මත කිරීම තුළින් අපි දෙන පණිවුඩය පැහැදිලියි. වහාම යුක්රේනයට කරන පහරදීම් නවත්වන්න, රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ගයකට පිවිසෙන්න” යැයි සභාපති අබ්දුල්ලා ෂහීඞ් අවධාරණය කළේය.

යුක්රේන ගැටුම සම්බන්ධයෙන් මහ සමුළුවේ විශේෂ සැසියක් පසුගිය 28 සහ 1 වැනිදා පැවති අතර ඡන්දය විමසීම බදාදා දින සිදු විය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *