තෙල් නැව් මුදාගන්න ඩොලර් ඉල්ලන නිසා කබ්රාල් සංස්ථාවේ බැංකු ණය නවතා දමයි !

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බැංකු ණය නොදෙන ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සියලු බැංකුවලට හදිසියේ නියෝග කළේ වරායට පැමිණ ඇති පෙට්‍රල් සහ ඩීසල් නැව් දෙක මුදා ගැනීමට ඩොලර් නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක මහ බැංකුව සිටින නිසා බවත්, බැංකු ණය ගෙන තෙල් සංස්ථාව ඩොලර් ඉල්ලා සිටීම වැලැක්වීම එහි අරමුණ බවත්, තෙල් සංස්ථාවට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.

පෙට්‍රල් සහ ඩීසල් රැගත් නැව් දෙකක් මේ සෙනසුරාදා කොළඹ වරායට පැමිණ ඇති අතර මුදල් ගෙවා තෙල් නිදහස් කරගන්න තෙක් එම නැව් වරායේ නැංගුරම් ලා ඇත.

එම තෙල් මුදා ගැනීමට අවශ්‍ය මුදල් තෙල් සංස්ථාව සතුව නැති අතර විදුලි බල මණ්ඩලයෙන් ලැබීමට ඇති හිග මුදලින් කොටසක් ගෙවන ලෙස සංස්ථාව දන්වා ඇත. එම මුදල් ලැබීමේ පදනම මත බැංකු ණය ලබාගෙන මහ බැංකුවෙන් ඩොලර් ඉල්ලා සිටීම සංස්ථාවට තිබු විකල්පය බව කියති.

එලෙස බැංකු ණය ලබා ගැනීම මහ බැංකු අධිපතිවරයාගේ හදිසි නියෝගයක් මත මේ වන විට නවතා දමා තිබේ. තෙල් සංස්ථාව ඩොලර් ඉල්ලා මහ බැංකුව වෙත පැමිණීම නැවත්වීම මෙහි අරමුණ බව කියති.

තෙල් නැව් සඳහා ගෙවීමට ඩොලර් ලබාදීමට මහ බැංකුවට ඇති නොහැකියාව වසාගැනීම මෙහි අරමුණ බව විශ්වාස කෙරෙයි.

කෙසේ වෙතත්, තෙල් සංස්ථාව මේ වන විටත් බැංකුවලට ණය වී ඇති මුදල කෝටි 37,000 ක් බව කියති. විදුලි බල මණ්ඩලයෙන් තෙල් සංස්ථාවට ගෙවීමට ඇති හිග මුදල කෝටි 70,000 කි.

තවත් රාජ්‍ය ආයතන ගණනාවක් ද තෙල් සංස්ථාවට විශාල ලෙස ණය වී ඇත.

එම ණය ලබා දීමට මහ බැංකුව හෝ රජය මැදිහත් නොවන නමුත් තෙල් සංස්ථාව ණය ගැනීම නවතා දැමීමට පමණක් මැදිහත් වී ඇති බවට ද තෙල් සංස්ථා සේවකයෝ චෝදනා කරති.

මෙම ආරවුල නිසා තෙල් නැව් දෙකක් වරායේ හිර වී ඇති අතර අද විදුලි කැපීමට ද හේතු වුයේ එම තත්ත්වය බව කියති.

රට පුරා තෙල් හිගයක් ද ඇති වී තිබේ.

වරායේ ඇති තෙල් නැව් දෙක මුදා ගැනීමට අවශ්‍ය මුදල ඩොලර් මිලියන 60 ක් බව ද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *