සීමා කිරීම්, ඩොලර් හිගය මැද ආනයන ඩොලර් බිලියන 20.6 ට නගී

වත්මන් රජය භාණ්ඩ ගණනාවක් ආනයනය නතර කොට ඇති අතර ආනයන සඳහා ඩොලර් නිකුත් කිරීම ද සීමා කොට ඇතත්, මෙරට සමස්ත ආනයන ප්‍රමාණය ඉතිහාසයේ වැඩි ම අගය වාර්තා කරමින් පසුගිය වසරේ ඩොලර් බිලියන 20.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් වසංගතයට පෙර 2019 වසරේ එය සටහන් වී ඇත්තේ ඩොලර් බිලියන 19.9 ක් වශයෙනි.
දෙසැම්බර් මාසයේ ආනයනවල සියයට 46.8 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ ඩොලර් බිලියන 2.2 ක ආනයන වාර්තා කරමිනි.
මෙලෙස ආනයන ඉහළ ගොස් ඇත්තේ, මෝටර් රථ මෙන් ම කහ, මුන් ඇට , බඩඉරිඟු, පොහොර, කෘෂි රසායන ඇතුළු භාණ්ඩ රැසක් ආනයනය තහනම් කොට තිබිය දී ය.
තවත් භාණ්ඩ රැසක් ආනයනය සඳහා බලපත්‍ර ලබාගත යුතු වෙයි. ඒවා නිදහසේ ආනයනය කළ නොහැකි ය.
ආර්ථික විද්‍යාඥයින් කියන්නේ ආනයන තහනම් කර තිබිය දී ආනයන ඉහළ යෑමට හේතුව මහ බැංකුව විශාල ලෙස මුදල් අච්චු ගසා වෙළෙඳපොළට නිකුත් කිරීම බවයි. වැඩිවන මුදල් මගින් භාණ්ඩ සඳහා අලුතින් ඇතිකරන ඉල්ලුම මගින් ආනයනික භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ යෑම සිදුවෙයි.
එබැවින් ආනයන සීමා කිරීම විනිමය හිගයට හෝ ආර්ථික අර්බුදයට පිලියමක් නොවන බවත්, මහ බැංකුව වෙළෙඳපොළට වැඩිපුර මුදල් නිකුත් නොකළ යුතු බවත් පිළිගත් ආර්ථික විද්‍යාඥයින්ගේ මතය වී තිබේ.
ආනයන සඳහා තහංචි තිබිය දී ආනයන ඉහළ යෑමෙන් එම තත්ත්වය පැහැදිලිව පෙන්නුම් කරන බව ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව තව තවත් මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටියි.
