අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්න ඩොලර් දීම සලාක ක්‍රමයකට ; මුදල් දෙනවා කියන්න දීමක් !

කිරිපිටි, සහල්, සිමින්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට මහ බැංකුව මුදල් නිකුත් කිරීම විශාල ලෙස සීමා කොට ඇති බවත්, ඒ අනුව බැංකුවලින් ණයවර ලිපි නිකුත් කරන්නේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයෙන් අඩකට පමණ බවත්, වෙළෙඳපොළේ තතුදත් අංශ කියයි.

මෙලෙස සීමා කරමින් ණයවර ලිපි නිකුත් කරන ලෙස මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් දී තිබේ. ඒ අනුව මසකට කිරිපිටි නැව් ගණනාවක් ගෙන්වන ආනයන කරුවන්ට ගෙන්වීමට අවසර දී ඇත්තේ නැව් එකක් දෙකක් බව කියති.

මෙරටට මසකට සිමෙන්ති නැව් විස්සක් පමණ ගෙන්වන ආනයන කරුවකුට දැන් ගෙන්වීමට ඉඩ ලැබී ඇත්තේ නැව් අටක් පමණ ප්‍රමාණයකි.

අනෙකුත් සියලු භාණ්ඩ සඳහා ද මෙම තත්ත්වය පවතින බැවින් වෙළෙඳපොළේ විශාල භාණ්ඩ හිගයක් පවතියි.

මේ වනවිට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වෙනත් භාණ්ඩ ද කළු කඩ මිලට අලෙවි වෙමින් පවතියි.

මහ බැංකුව කරන්නේ භාණ්ඩ ගෙන්වීමට මුදල් දෙන බව පෙන්වීමට පමණක් ඩොලර් නිකුත් කිරීමක් බව ආනයන කරුවෝ කියති.

ඔවුන් කියන්නේ මෙම තත්ත්වය යටතේ වෙළෙඳපොළේ භාණ්ඩ හිගය ළඟදී අවසන් නොවන බවයි.

කෙසේ වෙතත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල මහතා ප්‍රකාශ කොට ඇත්තේ වෙළෙඳපොළේ කිරිපිටි හිගයක් ඇතිවිය නොහැකි බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *