කබ්රාල් , ආටිගල නාවත් අද කැබිනට් රැස්වීම උණුසුම් වන ලකුණු

අද දින පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට කලින් යොදාගෙන තිබු පරිදි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල මහත්වරුන් සහභාගී නොවුව ද , රටේ තත්ත්වය ගැන ප්‍රශ්න මතුකිරීමට බොහෝ ඇමතිවරුන් සුදානම්ව සිටින හෙයින් එය උණුසුම් විවාදයන්ට හේතු වන රැස්වීමක් වනු ඇතැයි තතු දත් දේශපාලන අංශ කියයි.
නව වසරක් උදා වන මොහොතේ පැවති සහ තවමත් පවතින අත්‍යවශ්‍ය ආහාර සහ ගෑස් හිගයත් මහජනයා පෝලිම්වල රස්තියාදුවීමත් ගැන ප්‍රශ්න මතු කිරීමට ඇතැම් ඇමතිවරුන් සුදානමින් සිටිති.
එමෙන් ම පොහොර හිගය නිසා ගොවිතැන් විනාශවීමෙන් ඉදිරි කාලයේ ඇතිවන සාගත තත්ත්වය ද බරපතළ ප්‍රශ්නයක් ලෙස සාකච්ඡාවට ලක්වෙමින් පවතියි.
අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් වරායෙන් නිදහස් කර ගැනීමට මුදල් නිකුත් නොකිරීම ද කැබිනට් මණ්ඩලයේ අවධානයට ලක් කිරීමට ඇතැම් ඇමතිවරුන් සුදානමින් සිටින බව කියති.
විවිධ හේතු දක්වමින් මෙම ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම කල් දැමීම ගැන ද ඇතැම් ඇමතිවරුන් කෝපයෙන් සිටින බව දැනගන්නට ඇත.
මෙම ප්‍රශ්න නිසා මැති ඇමතිවරුන්ට සහ ආණ්ඩුවේ බලධාරීන්ට හූ කියන්නට සහ විරෝධය පළ කරන්නට මහජනයා පෙළඹී ඇති බවත්, පශ්නවලට විසම්දුම් දීම තවත් ප්‍රමාද කළ නොහැකි බවත්, පෙන්වා දීමට ඇමතිවරුන් ගණනාවක් සුදානමින් සිටින බව කියති.
එබැවින් අද කැබිනට් මණ්ඩල න්‍යාය පත්‍රයේ ඇති බොහෝ කැබිනට පත්‍රිකා ගැන තීරණ ගැනීම කල් තබා හෝ මෙම ප්‍රශ්න කතා කළ යුතු බව බොහෝ ඇමතිවරුන්ගේ මතය වී තිබේ.
කැබිනට් රැස්වීම අද සවස 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ය.
