ඩිලාන් හා එස්.බී.ගේ කථා පිටුපස ඇති දේශපාලන කුමන්ත්‍රණය මෙන්න !

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ කමිටු වාර්තාවට අනුව ජනාධිපති ක්‍රමය අහෝසි නොකළයුතු බවට ඩිලාන් පෙරේරා මාධ්‍යට කළ ප්‍රකාශය හා ජනාධිපති සිරිසේන මහතාගෙන් තමා කළ ඉල්ලීමකට අනුව රාජපක්ෂ පවුලේ දෙදෙනෙකු අත්අඩංගුවට නොගත් බවට එස්. බී. දිසානායක කළ ප්‍රකාශය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව යුක්තියට වාර්තා වේ.
පලාත් සභාවලට ඉඩම් බලතල ලබා දී රාජ්‍යයේ ඒකීය භාවය ආක්ෂාකර ගැනීමට ජනාධිපති ක්‍රමය තබාගැනීම අවශ්‍ය බව පවසමින් විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යෑමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය උත්සාහ දරන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත. දැනට ක්‍රියාත්මක නොවන නමුත් 13වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉඩම් හා පොලිස් බලතල ද පලාත් සභාවට අයත් ය. ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් පොලිස් බලතල නොදී ඉඩම් බලතල පමණක් ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය ද විරුද්ධ නැති බව වාර්තා වේ.
මේ උපාය තුළින් අරමුණු කිහිපයක් ඉටුකර ගැනීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වන බව දැනගන්නට ඇත. බෙදී තිබෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ තුළින් එක්කර ගැනීම ප්‍රධානය. එක්සත් ජාතික පක්ෂය නන්නත්තාර කිරීම සඳහා ඊ ලග ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම මේ සැළසුමේ දෙවැනි අංගය වේ. පලාත් සභාවට ඉඩම් බලතල ලබාදීම තුළ මහින්ද රාජපක්ෂගේ වර්ගවාදි පාලනය හේතුකෙටගෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව සිටින සුළු ජාතීන් නැවත එක්කර ගැනීම ඔවුන්ගේ ඊ ළග උපාය වී තිබේ. ඉඩම් බලතල ලබාදීම තුළින් සුළු ජාතින් ද එක්කර ගෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම ඊ ලග බලාපොරොත්තුව ය.
මේ අතර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා එක්රැස් කළ ජනතාවගේ අදහස් ඇතුලත් වාර්තාව ඉදිරි සති දෙක ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. දැනගන්නට ඇති ආකාරයට එහි දී ජනාධිපති ක්‍රමය එසේම තබාගැනීමේ කොන්දේසිය මත පොලිස් බලතල නැතිව ඉඩම් බලතල ඇතුළුව පලාත් සභාවේ බලතල පුළුල් කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යෝජනා කිරීමට සූදානම් බව උක්ත ආරංචි මාර්ග වලින් වැඩි දුරටත් දැන ගන්නට ඇත.
මෙයට අමතරව තම පාලන කාලය තුළ කර ඇති අපරාධ සම්බන්ධයෙන් තම පවුලට හිරහැරයක් නොකරන කොන්දේසිය මත මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් බවට කර ඇති ප්‍රකාශයට ජනාධිපතිවරයාගේ සැළකිල්ල යොමු වී ඇතැයි ද කියැවේ. ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම ඇතුළු පිරිසක් නිහඩවීමට ද මේ එකගතාවය බලපා ඇතැයි ද දැනගන්නට ඇත. ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්සත් කරගැනීමට බාධාවක් ව පවතින මහින්ද සාධකය ඉවත්කර ඉදිරියට යෑමට මේ වනවිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ එකගතාවයක් ඇති බව ද වැඩිදුරටත් දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *