රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා මගෙන් සමාව ඉල්ලුවා – හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු, ප්‍රහාරයට පෙර ලබාදීමට නොහැකි වීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා තමාගෙන් සමාව ඉල්ලා සිටි බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද (14) අධිකරණය හමුවේ අනාවරණ කළේය.
ඒ අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම් ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද අට වන දිනටත් කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණි.
සාක්ෂි ලබාදීමට අද පැමිණියේ යහපාලන ආණ්ඩුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රුවන් විජේවර්ධන මහතා ය.
මෙහිදී ආරක්ෂක මණ්ඩල රැස්වීම් පැවති ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළ ඒ මහතා මුල් කාලයේ ආරක්ෂක මණ්ඩල රැස්වීම් ජනපතිවරයා සතිපතා පැවැත්වූ නමුත් පසුව මාස්පතා පැවති බවත්, අවසාන කාලයේ ජනාධිපතිවරයා කැඳවන අවස්ථාවලදී පමණක් පැවැත්වූ බවත් ප්‍රකාශ කළේය.
එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන තෙක්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා තමාට ඒ පිළිබඳ ලද තොරතුරු පිළිබඳ දැනුවත් නොකළ බව අද අධිකරණය හමුවේ අනාවරණ කළේය.
“ස්වාමීනි..පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වීමෙන් පසුව පෙරවරු 9.30 ට පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මට දුරකථනයෙන් කතා කර අරලියගහ මන්දිරයේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙස දැනුම් දුන්නා. ඒ අවස්ථාවේදී මම සිටියේ ආරක්ෂක අමාත්‍යංශයේ. ඒ අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශයට ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක බලධාරීන් රැස්ව සිටියා. මා ඔවුන්ට දැනුම් දෙන්නා ආරක්ෂක මණ්ඩල රැස්වීමක් සඳහා අග්‍රාමාත්‍යවරයා සියලුදෙනාට අරලියගහ මන්දිරයට එන්න කිව්වා කියල. ඒත් කිසි කෙනෙක් නැඟිට්ටේ නැහැ. පසුව මම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් මේ ගැන විමසුවා. එවිට හේමසිරි ප්‍රනාන්දු මහතා මට කිව්වා අගමැතිතුමා කැඳවන කිසිම රැස්වීමකට සහභාගි වෙන්න එපා කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා කියලා. එම ස්ථානයේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධනත් හිටියා.මම ඔහුගෙන් ඇහුවා ප්‍රහාරය ගැන තොරතුරු මට කලින්ම දැනුම් නොදුන්නේ ඇයි කියලා. එම අවස්ථාවේදී නිලන්ත ජයවර්ධන කිව්වා තොරතුරු දෙන්න බැරි වීම ගැන සමාවෙන්න කියලා.” යැයි රුවන් විජේවර්ධන මහතා පැවසීය.
“සහරාන් හෂීම්” පිළිබඳව ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී සාකච්ඡා වී තිබේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රශ්න කළ විට විජේවර්ධන මහතා පැවසුවේ අවස්ථා දෙකකදී පමණ සාකච්ඡා වී ඇති නමුත් තමා සිටි රැස්වීම්වලදී සහරාන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව සාකච්ඡා නොවූ බවය.
ඉන් පසු මහාධිකරණය හමුවේ සාක්ෂි දුන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක් වූ කටුවපිටිය, ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සහායක පියතුමා වශයෙන් කටයුතු කළ සමීර රුද්‍රිගෝ පියතුමාය.
අද දෙරණ
