සිරිල් ගාමිණි පියතුමා මේ වෙලාවේ අත්අඩංගුවට ගන්නේ නැහැ – රහස් පොලීසිය අධිකරණයට දන්වයි


පාස්කු ප්‍රහාරය ගැන කළ ප්‍රකාශයක් ගැන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ලද සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමාව මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී පියතුමා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රෂ්ටාධිකරණය ඉදිරියේ අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

විජිත් මළල්ගොඩ, එල්.ටී.බී.දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන්ගෙන්  සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සළකා බලනු ලැබී ය.

මෙහිදී අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දෙමින් සඳහන් කළේ මෙම අවස්ථාවේදී සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බවයි.

විමර්ශන කටයුතු නිමා වීමෙන් පසුව නීතිපති උපදෙස් මත අත් අඩංගුවට ගැනීම  සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ලබන අප්‍රේල් මස 04 වනදා කැඳවීමට ද තීරණය කෙරිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *