තමන්ට අයිති බව කියන සමගි ජන බලවේගය පක්ෂයට එරෙහිව ඩයනා ගමගේ අධිකරණයට

 

තමන්ට අයිති පක්ෂය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කරන සමගි ජන බලවේගය පක්ෂයට එරෙහිව ඒ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනුකොට තිබේ.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඩයනා ගමගේ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස  එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක,  මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා සහ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු එකොළොස් දෙනෙකු නම් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කරන අවස්ථාවේ ඊට පක්ෂව ඡන්දය භාවිත කළ බවට චෝදනා කරමින් තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති බව ඇය අදාළ පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට පෙර සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට වගඋත්තරකරුවන් ක්‍රියා නොකළ බව චෝදනා කරන පෙත්සම්කාරිය මේ මඟින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කර ඇති බව ද ප්‍රකාශ කරයි.

ඒ අනුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීතිය ඉදිරියේ බලරහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *