කෞමාර කාමය හා රථ ගාය (බාලාපරාධිකාරි ආන්ඩූ) – Mad Max & Govt. with Pedophilia – මාතලන්
මාතලන්ගේ පවුලේ උන් සෙට් වී වෙසක් මාසෙට පොඩි පින්කමක් කොරනවාය. ප්‍රධානත්වය දරන ධානපති විශාකා නැන්දා උපාසිකාව කිව්වේ, මේ සැරේ ඒ සල්ලි ටික කැන්සර් හොස්පිටල් එකේ, ඉස්කෑන් යනතරේ ගන්න පූජා කරමු කියාය. වාසනාවකට මෙන් මාතලන්ගේ සහායට අප පවුලේ බාර් ඇසෝසේසොන් එකේ සේනාවෝද, මහින්දට පෙම් කරනා බවලත් උපාසිකාවෝද වූ බැවින්, යාන්තම ඒ වැඩේ නවත්වා, පුරුදු පින්කමම කිරීමට අවසානයේ සියල්ලෝ එකඟ වූහ.
හැබයි ඉතින්, නම් කොරන ලද බඩු භාන්ඩ කීපෙකට හැර, නැති වෙන්නම වැට් එක ගහලාය. පාන් ගෙඩිය එහෙමම තිබුනාට, අනිත් බේකරි ප්‍රොඩක්ට් අඩුම ගානේ සුපියල් පහකින් ඉහල දාලාය. හෝටල් කාරයෝත් උන්ගේ දහජරාව වැඩි කොරලාය. නිකං වයි පයි දෙනවා කියපු උන්, හයි පයි උන්ට ගහන්න ඕන ඒවා ඒකටත් ගහලාය. දැන් ඉතින් අපිට වෙන්නේ හරීන්ගේ ගූ ගල් බැලුබ් එක එනකන් බලාගෙන ඉන්නය. ලොක්කා තාම පත්තරේ කියවලා නැති හැඩය.
රනිල් ලොක්කා අපිට කිව්වේ ටික කාලෙකට තිත්ත බෙහෙත් බොන්න වෙනවා කියලාය. ඒක එයා අළුතෙන් කියන්න ඕනා නැතිය. එයාලාගේ රථ ගායට, නිදහස ලබපු දා පටන් තිත්ත බෙහෙත් බොන්නේ අපිය. ඉතින් කවදාවත් එයාලාගේ රථ ගාය සනීප වෙන්නේත් නැතිය. අපි බොන බෙහෙත් එයාලත් බොනවා නම්, අනේ හරි පව් නේද අප්පා කියා ඉවසාගෙනවත් ඉන්න පුළුවන්ය. ඒත් කරුමේ කියන්නේ අපිට තිත්ත බෙහෙත් දීලා එයාලා වැට් 69 ගහනා එකය.
ඊයේ පරිපූරක ඇස්තමේන්තුවක්ද මොකක්ද උස්සගෙන එන්නේ අගමැතිට තව වාහන දෙකක් ගන්න කියලාය. තා එකක් අගමැති ආරක්ෂක සේවයේ වෙල් විදානේ උන්නැහේටය. රනිල් බේර ගන්නවාට, වෙල් විදානේ උන්නැහේට ලක්ෂ 300 යේ බැරිනම් 700 යේ එකක් දුන්නත් අපිට අවුලක් නැතිය. හැබයි ඒ එයාගේ අම්මගේ අප්පගෙ බූදලෙන් දෙනවානම්ය. එයිටාමතරව ටැක් ෆ්‍රී වැහිකොල් එක විකුණාගෙන කන නිසා, පක්ෂ විපක්ෂ ඔක්කෝම සන්තෝසෙන් තියන්න තවත්, පෝර්මිට් එකකුත් දෙනවාය. නිලියන්ගේ බිල්ඩින් වලට කී මනී දෙන්නේ අවුරුදු 5 කටය. මේවා ළොවෙත් නැති සීන්ය. ආන්ඩුවේ කිසිම වියදමක් උන් අඩු කරන්නේ නැතිය.
මේකට ආන්ඩුව කියන්නේ රාජපස්ස ටැස් එක කියලාය. ඒ කියන්නේ රාජපස්ස ගත්ත ණය ගෙවන්න වෙලා තියෙන්න අපි වාගේ හාල්පාරුවන්ටය. ඉස්සර ගමේ චන්ඩිත්, හෝටලෙන් කාල බිල ගෙවන්න කියන්නේ කන්න ආපු අනිත් උන්ටය. මේකත් එහෙම ගේමක්ය. යකෝ, රාජපස්සලා කාපු ඒවාට අපි පලි නැතිය. තොපි ඔතනට යැව්වේ ඒ රෙජිමේ උන් මුළු රටම කාලා දාන්න යන නිසා, ඒක නවත්තන කියලාය. එහෙම යවපු තොපි, උන් කාපු ඒවා හොයන්නේ නැතිව, උන් රෙද්ද අස්සේ දාගෙන, උන් එක්ක හැමිනි හැමිනි, කාලා නවත්තපු තැන ඉඳන් කිසි අවුලක් නැතිව කාගෙන යනවා නම්, රාජපස්සලාට දීපූ ගේම තොපිටත් දෙන්න දෙසරයක් හිතන්නේ නැතෙයි කියා ලිවිල්ල නවත්වා දමනවාය.


