ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරනවා – ජනපති යුරෝපා සංගම් නියෝජිතයන්ට කියයි

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිතුමාටත් උපදෙස් ලබා දී ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිතුමා මෙරට සංචාරයට පැමිණ සිටින යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමට පැවසීය. එලෙසම, වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවන්ට අනුව කටයුතු කරන බව ද ජනාධිපතිතුමා විසින් සඳහන් කරනු ලැබිණ.
යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ අද (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ කරුණු ප්‍රකාශ කළේය.
ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්රජාතන්ත්රවාදී රටක් ලෙස ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහි දී ප්‍රකාශ කොට ඇත.
යුරෝපා සංගම් GSP+ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව, ශ්‍රී ලංකාව සමග එක්ව වැඩ කිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම මෙම සංචාරයෙන් දූත කණ්ඩායම අපේක්ෂා කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයන් එය සංශෝධනය කිරීම නිශ්චිත කාලයක් තුළ සිදුකල යුතු බව ජනාධිපතිතුමාට පෙන්වා දී තිබේ
මෙම සංචාරයේ දී අධ්‍යයනය කළ කරුණු පදනම් කරගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව නියෝජිත පිරිස ප්‍රකාශ කොට ඇත. ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් තම සහාය ලබාදෙන බව ද ඔවුහු සඳහන් කළහ.
යුරෝපා කොමිසමේ ජ්‍යෙෂ්ඨ උපදේශක, වෙළෙඳ හා තිරසර සංවර්ධන, GSP සහ (Environment Action Programme) හි වෙළඳ කටයුතු සඳහා වූ අධ්යක්ෂ ජනරාල් නිකොලොස් සයිමිස් (Nikolaos Zaimis), යුරෝපා කොමිසමේ බාහිර ක්‍රියාකාරි සේවයේ දකුණු ආසියාවේ අංශ ප්‍රධානි, අඕනිස් ජියෝග්කරාකිස් ආර්ජිරොපොව්ලොස් (Ionnnis Giogkarakis Argyropoulos), කොළඹ පිහිටි යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ තානාපති, ඩෙනිස් චායිබි (Denis Chaibi), ජීඑස්පී වෙළඳ සහනය පිළිබඳ සම්බන්ධීකාරක ගයිඩෝ ඩොලාරා (Guido Dolara), රැකියා, සමාජ කටයුතු – කම්කරු, සංචලන – ජාත්‍යන්තර ගැටලු පිළිබඳ ඒකක ප්‍රධානි, අධ්යක්ෂ ජෙනරාල් ලුයී ප්රැට්ස් (Lluis Prats), ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රතිපත්ති නිලධාරි, මොනිකා බයිලේයිට් (Monika Bylaite), විදේශ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
