ත්‍රිකුණාමලේ තෙල් ටැංකි දැන් අයිති ඉන්දියාවට යි – ඛනිජ තෙල් ඇමති උදය ගම්මන්පිල

ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි සියය ම ඉන්දියාවට අයිති වී අවසන් බව ඛනිජ තෙල් ඇමති උදය ගම්මන්පිල මහතා අද කොළඹ පැවතී මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කොට ඇත. එම තෙල් ටැංකි ඉන්දියාවට හිමිකර දුන්නේ ඉන්දු ලංකා ගිවිසුමෙන් බව ද ගම්මන්පිල මහතා කියයි.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න යන බව කියමින් වෘත්තීය සමිති ගෙන යන විරෝධතා ක්‍රියාමාර්ග ගැන මාධ්‍යයට ප්‍රකාශ කරමින් ඇමතිවරයා මේ බව කියා තිබේ.
ඉන්දු ලංකා ගිවිසුම 1987 දී අත්සන් කරන ලද්දේ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා අතර ය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන ගන්න ඕනෑම පියවරක දී ඉන්දියාවේ අදහස් විමසීමට එමගින් ගිවිස ගෙන තිබිණි.
2003 වසරේ දී එම තෙල් ටැංකි වසර 35 ක් සඳහා ඉන්දියාවේ IOC සමාගමට බදු දී තිබේ. එසේ වුව ද, එම සමාගම ප්‍රයෝජනයට ගන්නේ ටැංකි 15 ක් පමණක් බව වාර්තා වෙයි.
