හදිසි නීතියේ මුල් ප්රතිඵල එයි ! සතොසටත් සහල් නැතිවෙයි !!

හදිසි නීතිය යටතේ ක්රියාත්මක කිරීමට උත්සහ දරන පාලන මිල යටතේ විකිණීමට සහල් මිල දී ගැනීම සඳහා සතොස ආයතනය ඉදිරිපත් කළ ටෙන්ඩරයක් අසාර්ථක වී ඇති බවත්, මේ වනවිටත් සතොසේ ඇතැම් සහල් වර්ග තොග අවසන්ව ඇති බවත්, වාර්තා වෙයි.
සතොස සඳහා සහල් මෙට්රික් ටොන් 4000 ක් මිල දී ගැනීමට කැඳ වූ ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කොට ඇත්තේ කුඩා මෝල් හිමියන් පස් දෙනෙකි. ඔවුන්ට සැපයිය හැක්කේ සහල් මෙට්රික් ටොන් 1500 කට වැඩ අඩු ප්රමාණයක් බව වාර්තා වෙයි. මේ නිසා සතොසේ සහල් අලෙවිය ද නවතින තත්ත්වයක් පැන නැගී ඇත්තේ මේ වනවිටත් ඇතැම් සහල් වර්ග තොග අවසන්ව ඇති නිසා ය.
මේ තත්ත්වය තුළ මහා සහල් මෝල් වටලා වී තොග මිල දී ගෙන කොටා විකිණීමට කටයුතු කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බව ද වාර්තා වෙයි.
කෙසේ වෙතත්, අපේ ආරංචි මාර්ග කියන්නේ මෙලෙස සහල් වෙළෙඳ පොළ බිඳ දැමුව හොත් විවෘත වෙළෙඳ පොළේ සහල් හිග වීමෙන් ප්රශ්නය තවත් බරපතළ විය හැකි බවයි. එම ආරංචි මාර්ග කියන්නේ බඩු මිල වැඩිවීම වළක්වා ගැනීමට ආණ්ඩුවේ නොහැකියාව සහල් මාෆියාවක් මත පැටවීමේ ආණ්ඩුවේ උත්සාහය ආණ්ඩුවට ම පාරා වළල්ලක් විය හැකි බව යි.
වෙළෙඳපොළ ආරංචි මාර්ග කියන්නේ මෙයින් ආණ්ඩුවේ නොහැකියාව යලිත් වරක් ප්රදර්ශනය වනු ඇති බව සහ එයින් මහජනයා තවත් පීඩාවට පත්වීම පමණක් සිදු විය හැකි බව යි.
