ජනාධිපතිගේ තර්ජනයෙන් බැසිල් පසුබසී ! පොහොර ගෙන්වීමේ ව්‍යාපාරික සාකච්ඡා කල් දමයි

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද පොහොර ගෙන්වීමේ ගැසට් නිවේදනයට අනුව රසායනික පොහොර ගෙන්වීමට උපදෙස් දීම සඳහා බැසිල් ඇමතිවරයා කැඳවා තිබු සාකච්ඡාව දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි වාර්තා වෙයි.
එලෙස ගැසට් නිවේදන නිකුත් කළාට ඒ අනුව පොහොර ගෙන්වීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කරන ලද නිවේදනය නිසා ඉහත කී පොහොර ගෙන්වීමේ සාකච්ඡා කල් දමා තිබේ.
තනිකර කාබනික ගොවිතැන කළ නොහැකි බවටත්, කාබනික පොහොර යෙදුව ද නයිට්රජන් , පොස්පරස් සහ පොටෑසියම් පොහොර අනිවාර්යයෙන් යෙදිය යුතු බවටත්, කෘෂිකර්ම අමාත්‍යංශයේ විශේෂඥයන් කළ නිර්දේශ අනුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා තම ගැසට් නිවේදනය නිකුත් කළ බව කියති.
කෙසේ වෙතත්, ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ සම්පුර්ණ කාබනික ගොවිතැන පිලිබඳ ජනාධිපතිතුමාගේ ස්ථාවරය කිසිසේත් වෙනස් වී නැති බව යි.
ආණ්ඩුව වෙනුවෙන් කරුණු දක්වන තවත් පිරිසක් කියන්නේ ගෙන්වන්නට ඉඩ දෙන්නේ රසායනික පොහොර නොව ඛනිජ පොහොර බවයි.
කෙසේ වෙතත්, තහනම් කොට ඇති යුරියා යනු මිනිස් සහ සත්ව ශරීර තුළ නිපදවෙන කාබනික ද්‍රව්‍යයක් බවත්, පරිසරයෙන් එය ලබාගන්නේ ඛනිජ වශයෙන් බවත් කියන වෙනත් විශේෂඥයන් කියන්නේ ඛනිජ කියා ගෙන්වන්නට හදන පොටෑසියම්, පොස්පරස් තරම් හානියක් මිනිස් සහ සත්ව ශරීර තුළ නිපදවෙන කාබනික ද්‍රව්‍යයක් වන යුරියා මගින් මිනිසාට සිදු නොවන බව යි.
මිනිස් ශරීරයේ නිපදවෙන යුරියා මිලි ග්‍රෑම් 40 -50 ප්‍රමාණයක් දිනපතා මුත්‍රා මගින් පිටකරන බව කියති.
කෙසේ වෙතත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියම කර ඇති පොහොර සහ පලිභෝද නාශක ගෙන්වීමට ව්‍යාපාරිකයින්ට කොටා නිකුත් කිරීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කටයුතු සුදානම් කොට තිබු බවත්, එම කටයුතු මේ වනවිට දින නියමයකින් තොරව කල් දමා ඇති බවත්, අපගේ ආරංචි මාර්ග කියයි.
