“ගුරු වැටුප් ප්‍රශ්න මේ වෙලාවේ විසඳන්න බැහැ” – අගමැති වෘත්තීය සමිති නියෝජිතයින්ට කියයි

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් විය යුතු බව මෙන්ම ගුරු සේවය වෙන ම සේවාවක් බවට පත් විය යුතුය යන්න පිළිගන්නා නමුත් රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව වැටුප් විෂමතා ඉවත්කිරීමේ හැකියාවක් නොමැති බව ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද පැවතී සාකච්චාවේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.
කෙසේ වෙතත්, ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ප්රශ්නය ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව ද අගමැතිතුමා වෘත්තීය සමිති නියෝජිතයින්ට දැනුම් දී තිබේ.
අගමැතිවරයා සහ ගුරු වෘත්තීය සංගම් අතර මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේ දී අද පැය දෙකහමාරකට ආසන්න කාලයක් පැවැත්විණි
අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස් ,ආචාර්ය බන්දුල ගුණවර්ධන ,විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ, වෛද්‍ය රමේෂ් පතිරණ, සුසිල් ප්‍රේම ජයන්ත සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුද ,ගුරු හා විදුහල්පති සංගම් නියෝජනය කරමින් ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු වෘත්තිය සංගම් නියෝජිතයෝ පිරිසක් ද මීට සහභාගී වුහ .
සාකච්ඡාවෙන් පසු මාධ්‍ය අමතා ප්‍රකාශයක් කළ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ගුරු, විදුහල්පති වැටුප් ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට වුවමනාවක් නැති බව මෙම සාකච්ඡාවෙන් පෙනී ගිය බව යි.
