විධායක සභාව තහනම් කළ බවට අධිකරණ තීන්දුවක් ගැන දන්නේ නැහැ – GMOA

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව පවත්වාගෙන යන්නේ කොළඹ දිසා අධිකරණයෙන් ජුනි 21 දින ලබාගත් අවසරයක් මත බවත්, විධායක සභාවේ කටයුතු අත් හිටුවමින් ඉන් පසු අවස්ථාවක වෙනත් අධිකරණයක් දුන් තීන්දුවක් ගැන තම සංගමය දැනුවත් නොමැති බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කොට ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති චන්දන එපිටකටුව මහතා මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කොට ඇත්තේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ව්‍යවස්ථාව අනුව විධායක සභාවේ වලංගු භාවය ඇත්තේ එක් වාර්ෂික සභාවක සිට ඊළඟ වාර්ෂික සභාව දක්වා පමණක් බව යි. මෙම වසරේ කොවිඩ් තත්ත්වය නිසා වාර්ෂික සභාව පැවැත්වීමට නොහැකි වීම නිසා අධිකරණයේ මතය විමසු බවත්, ඒ අනුව ලබාගත් අවසරයක් මත විධායක සභාවේ කටයුතු කරගෙන ගිය බවවත් ඒ මහතා කියයි.

එම අධිකරණ අවසරය හැරුණු විට වෙනත් අධිකරණයකින් පසුව දුන් තීන්දුවක් ගැන තම සංගමය දැනුවත් නැති බව එපිටකටුව මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ වැඩ කටයුතු අධිකරණයෙන් ඇත හිට වූ බවට ඊයේ පළ වූ වාර්තා ගැන මාධ්‍ය දැනුවත් කරමින් ඒ මහතා මෙම කරුණු හෙළි දරවු කළේ ය.

ඊයේ මාධ්‍ය වාර්තා කළේ මොරටුව දිසා අධිකරණයෙන් ඉහත කී තහනම් නියෝගය පෙරේදා නිකුත් කළ බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *