රටින් සහල් ගෙන්න වීම නිසා භූතානය කාබනික සැලසුම් වෙනස් කළා ; ඒ පාඩම වත් ඉගෙන ගනිමු – මහාචාර්ය බුද්ධි මාරඹේ

2020 වසර වනවිට සම්පුර්ණ කාබනික කෘෂිකර්මයට හැරීමට භූතානය 2014 දී ආරම්භ කළ සැලසුම රටේ පරිභෝජනයට අවශ්‍ය සහල් විශාල වශයෙන් පිටරටින් ආනයනය කිරීමට සිදුවීම නිසා 2018 දී වෙනස් කළ බවත්, ශ්‍රී ලංකාව අඩු තරමින් එම පාඩම වත් ඉගෙනගෙන වහා ම කාබනික වීමේ තීන්දුව වෙනස් කළ යුතු බවත්, පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා අංශයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ප්‍රකාශ කරයි.
සම්පුර්ණයෙන් කාබනික ගොවිතැනට හැරීමේ තම සැලසුම් 2014 දී ආරම්භ කොට වසර හතරක් ගිය තැන 2018 දී භූතානය ප්‍රකාශ කළේ එමගින් අලුත් බරපතල ප්‍රශ්න මතු වී ඇති බව යි. ඒ වනවිට රටේ සහල් අවශ්‍යතාවයෙන් සියයට 63 ක් ආනයනය කිරීමට එරටට සිදු වී තිබිණි. තිරිඟු සියයට 21 ක් සහ එළවළු සියයට 23 ක් ආනයනය කිරීමට සිදු වී ය.
මෙම තත්ත්වය යටතේ භූතානය තීරණය කළේ 2020 දී සම්පුර්ණ කාබනික කිරීමේ සැලසුම 2035 දක්වා කල් දැමීමට යි.
අපරටේ සියලු ඉඩම් කාබනික ලෙස වගා කළ 1945 දී වී අස්වැන්න වුයේ හෙක්ටයාරයකට ටොන් 0.65ක් බවත්, කෘෂිකාර්මික තාක්ෂණික දියුණුව මගින් එය මේ වන විට ටොන් 4.8 ක් දක්වා වැඩි කරගෙන ඇති බවත්, මහාචාර්ය වරයා පෙන්වා දුන්නේ ය. වැඩිවීම එකට හතකි. එනම්, හත් ගුණයකි.
මෙම සංවර්ධනය සිදු වුයේ ජාත්‍යන්තර වශයෙන් හරිත විප්ලවය ගැන සිතන්නටත් පෙර ශ්‍රී ලංකික විද්‍යාඥයන් ආරම්භ කළ සැලසුම් අනුව බව කී ඒ මහතා වැඩි දියුණු කරන ලද එච් 4 වී වර්ගය ශ්‍රී ලාංකික කෘෂි විද්‍යාඥයන් රටට හදුන්වා දුන්නේ 1958 දී බවත් පැවසීය.
රසායනික පොහොරෙන් ලබාදෙන නයිට්රජන්, පොටසියම් සහ පොස්පරස් වැනි සංඝටක කාබනික පොහොර මගින් ඒ ප්‍රමාණවලින් ලබා දීම කෙසේවත් කළ නොහැකි බව කී මාරඹේ මහතා හොඳම ක්‍රමය රසායනික පොහොර සමග කාබනික පොහොර ද යෙදීම බව ද කී ය.
අන්තර් ජාල වැඩ සටහනකට පසුගියදා සහාභාගී වෙමින් මහාචාර්ය මාරඹේ මහතා වැඩි දුරටත් කීවේ කෘෂි රසායනික හේතුවෙන් රෝග හටගන්නා බවට කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු වී නැති බවයි. රජරට වකුගඩු රෝගයට හේතු ලෙස සොයාගෙන ඇත්තේ එම ප්‍රදේශවල ජලයේ ෆ්ලෝරයිඩ් වැඩිපුර තිබීම සහ එම ජනයා ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම බවත් ඒ මහතා පැවසීය. ජාතික පර්යේෂණ සභාව මගින් මෙම කරුණු පසුගිය දා තහවුරු කොට තිබේ.
