අපිට පමණක් ජය ලැබෙන ගිවිසුම් හදන්න බෑ- වාසුදේව නානායක්කාර ( අවසාන කොටස)
ආසියාව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබෙන මොහොතක අපේ උවමනාවට හා අපේ සැලසුමට ගැලපෙන්නේ නම් ලංකාව වැනි රටක් එයින් ප්‍රයෝජනය ගෙන සංවර්ධන මාවතකට අවතීරණය වීමට උත්සාහ දැරීමේ වරදක් ඇතැයි මට පෙනෙන්නේ නැත. ඒවා සමඟ ගණුදෙනු කිරීමේ දී අපිට යම් යම් දේවල් අත්හරින්නටත් සිදුවේ. ඒකත් අපි තේරුම් බේරුම් කරගෙන අත්හළ යුතුදේත්, අත්හරිමින් අත්පත් කරගතයුතු දේ අත්පත්කර ගනිමින් කිසියම් ම වූ රාමුවක් තුළ හිරනොවී ක්‍රියාත්මක වියයුතු ය. අපිට මේ කාලය ගතකරන්නට වෙන්නේ අපේ ආර්ථිකයේ වර්ධනයත් ඒ වර්ධනයේ ප්‍රතිඵලය සමාජය තුළ බෙදී යෑමත් වෙනුවෙනි. හැකිතරම් දුරට අපි වෙනත් රටවල් මත යෑපීමට සිදුවීමට බලපාන මූලික කරුණු ඉතාමත්ම වේගයෙන් අඩුකරගත යුතු වේ. අත්‍යවශ්‍ය ආහාර වැනි මේ රටේ නිෂ්පාදනය කළහැකි දේවල් තිබේ. අපි මේ ගැන බොහොම ප්‍රායෝගික ව විසදුම් වලට අවතීරණයවීමක් අවශ්‍ය ය. අපි වියට්නාමය ගතහොත් රාජ්‍ය මෙහෙයුමක් තුළ තමයි මුළු ආර්ථිකය දුවන්නේ. ඒකේ පුද්ගලික ආයෝජන ස්ථානගතකර තිබේ. චීනයත් එසේම ය. වෙළඳපොල ක්රියාදාමයකටත් ඉඩ දී තිබේ. ඒකත් රාජ්‍ය පාලනයට යටත්ව නැතිනම් අවශ්‍ය වෙලාවට රාජ්‍ය පාලනය විසින් හසුරුවමින් රාජ්‍යයක් මගින් මෙහෙයවන සැළසුම්ගත ක්රියාකාරිත්වයක නමුත් කිසියම් රාමුවක සිර නොවී ක්‍රියාත්මක වන බව පෙනේ. එහිදි ආර්ථිකය ප්‍රසාරණය වියයුතු අතරම එහි අතිරික්තය සාධාරණ පදනමකින් බෙදී යායුතු ය.
කවුරු හරි කියනවා නම් අපි ආයෝජන ලබාගන්නට නම්, මේ රටේ පුද්ගලික ආයෝජන වැඩිකරන්නට නම්, ඒ අයට ලාභ ගොඩගසා ගන්නට ඉඩදෙන්න අවශ්‍යයි කියනවා නම්. ඒ යෝජනාවට අපි යටවෙන්නට අවශ්‍ය නැත. නමුත් අපි ඒ අයට ලාභ මට්ටමක අයිතියක් නොදීමට මෙයින් යෝජනා කරන්නේ නැත. නමුත් සාධාරණ වැටුප් මට්ටමක් තිබිය යුතු බව අපි ඒ අයට පැවසිය යුතුව තිබේ. අපි නිකම්ම ආයෝජනය එනවා කියලා අපේ තියෙන දේවල් ලියලා අතහරින්නට අවශ්‍ය නැත. හොඳම උදාහරණය නොවූවත් වියට්නාමය අපිට හොඳ උදාහරණයකි. නමුත් එහි දේශපාලන නිදහසක් නැති බව ද සැළකිල්ලට ගතයුතුව ඇත.
අද සංවර්ධනයේ දී ප්‍රධාන වන්නේ තාක්ෂණය වේ. තාක්ෂණය අපි දියුණු කරගතහොත් අපේ සම්පත්වල ශක්තියෙන් ගුණාත්මක පිම්මක් පැනගත හැක. ඒකට අපි පාසැලේ සිට පුහුණු ආයතන දක්වා යන්නට අවශ්‍ය ය. ඒක තමයි අපේ ප්‍රධාන එළඹුම වියයුත්තේ. එවිට අපිට පුළුවන් අපේම රටේ ඇති අමුද්‍රව්‍ය මේ තාක්ෂණයත් සමග වඩාත් තරගකාරි නිමි භාණ්ඩ බවට හරවන්නට. පාසැල්වල තාක්ෂණය ඉගැන්වීමේ පමණක් නොව හැබෑ ලෙසම මේ තාක්ෂණය ලබාගැණිමට නම් රටවල් සමග ගිවිසුම් ඇතිකර ගතයුතුය බවට ඔබ කරන සඳහන ඉතා වැදගත් ය. ඒකට ගිවිසුම් අවශ්‍ය නම් අපිට අවශ්‍ය ගිවිසුම් අපි ඇතිකර ගතයුතුව තිබේ. අපිට බෑ අපිට පමණක් ජය ලැබෙන ගිවිසුම් හදන්නට. අපිටත් ජය ලැබෙනවා මෙන්ම අනික් පාර්ශවයටත් ජය ලැබෙන ගිවිසුම් අපි හදාගත යුතු ය. මේවා දෙපාර්ශවයටම ප්‍රයෝජනවත් නැතිනම් එවැනි ගිවිසුම් සාර්ථක වන්නේ නැත. අපිට ඕක හරියටම මාත්‍රාවටම කරන්නට නොහැකි වන්නට ද පුළුවන. බල සම්බන්ධතාවයත් අනුවයි එම ගිවිසුම්වල අඩුවැඩි ඉඩකඩ ලැබෙන්නේ. ඒවත් අපි දැනගත යුතුව තිබේ. මෙසේ ක්‍රියාකරන්නේ නම් අපිට ඉදිරියේ දි තාක්ෂණික ශිල්පීන් අපනයනය කරන්නට පුලවන. තාක්ෂණික ශිල්පින්ට ලොව පුරා ඉල්ලුමක් පවති. අපේ තොරතුරු තාක්ෂණය අපි පණ වගේ රැකගත යුතු ය. එම තාක්ෂණයෙන් දකුණු ආසියාවේ අපිට වඩා ඉහලින් කවුරුවත් නැති බවයි මගේ වැටහීම. අපේ අයගේ නිර්මාණාත්මක හැකියාව ලෝකයේ ඉහළින්ම අගකරන බවයි මම හිතන්නේ. තොරතුරු තාක්ෂණයට අපි ප්‍රමාද වී ඇතුලත් වූ නමුත් මෘදුකාංග තාක්ෂණයෙන් ලෝකයේ ඉතාමත් වේගයෙන් ඉදිරියට යන රටක් බවට ශ්‍රී ලංකාව පත් වී තිබේ.
ඊට අමතරව ගණකාධිකරණය වැනි විෂයන් හරහා කාර්යාල පසුපස සේවාවන් ලෝකයට සපයන රටක් වශයෙන් ද අප ඉදිරියට විත් තිබේ. ඒකත් අපි හොඳින් කරනවා යැයි කියන එකයි මට තිබෙන වාර්තාව. දැන් අපේ සේවා සැපයුමේ පංගුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 16% ඉක්මවා ඇත. මේක තවත් වේගයෙන් වැඩිකරගත හැක. අපේ තව තවත් මෘදුකාංග ඉංජිනේරුවරුන්ට මෙහේ නැත්නම් කොහේ හරි රැකියාව තිබෙනවා. දැන් අපේ ඛනිජ වැලි තිබෙනවා. ඛනිජ වැලිවලට ඊට අමතරව ලුණු තිබෙනවා. ලුණු වලින් අතුරු නිෂ්පාදන 100කට වඩා නිෂ්පාදනය කළ හැක. අපිට ලුණු ලේවායන් 4ක් තිබේ. මේ ලුණු පදනම් කරගත් අපේ කර්මාන්තයක් මේ රටේ ඇති කරන්නට තාක්ෂණය මෙන්ම ප්රාග්ධනය අවශ්‍ය ය. ඒ ප්රාග් ධනය අපනයන වෙළඳපොලත් සහිතව කොහෙන් හෝ කැන්දා ගන්නට සිදුවේ. වෙනදා අපි ප්‍රාග්ධනයයි තාක්ෂණයයි වෙලඳපොලයි එකට කැන්දගෙන එනවා. අපි ඔවුන්ගේ සිරකාරයෝ බවට අවසාන යේ පත්විය. අපේ තාක්ෂණ හැකියාවන් තියෙන අය දෙමින්, අපේ අමුද්‍රව්‍ය දෙමින්, අපි වෙළඳපොලවල් ඒ අයට හොයා ගන්නට කියමින්, අපි පෞද්ගලික හා රජයේ ඒකාබද්ධ ආයතන පිහිටුවා ගැනීමේ ඇති වරදක් පෙනෙන්නට නැත.
මම මෙයින් කියන්නට මහන්සි ගන්නේ අලුත් ලෝක තත්ත්වය තුළ ඒකට මුහුණ දියහැකි සංවර්ධන උපායමාර්ග වලට ප්‍රවේශ වියයුතු බව ය. ඒක න්‍යායික ප්‍රශ්නයක් නොවේ. න්‍යායික ප්‍රශ්ණය වන්නේ ආර්ථිකය ප්‍රසාරණය වන විට සාධාරණව බෙදීයෑම ය.
