පරීක්ෂණ වාර්තා ප්‍රමාදයෙන් කොවිඩ් පාලනය අවුලක ; වාර්තාව එනවිට නිරෝධායන කාලයත් අවසන් ; මරණ තහවුරු කරගන්න සති දෙකක් !

කොවිඩ් 19 රෝග පරීක්ෂා කිරීම සඳහා කරන පී සී ආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම, වසංගත පාලනයට විශාල ප්‍රශ්නයක් වී ඇති බව සෞඛ්‍ය අංශවල උසස් නිලධාරීහු කියති.

රෝගීන්ගේ පරීක්ෂණ වාර්තා ලැබීමට ඇතැම් විට දින දහයකට වැඩි කලක් ගතවන බවත්, ඒ වනවිට රෝගියා අසාධ්‍ය තත්ත්වයට පත්වීම හෝ ඔහුගේ නිරෝධායන කාලය අවසන්වීම හෝ දෙකෙන් එකක් සිදු වී හමාර බවත්, එවිට පී සී ආර් පරීක්ෂණ වාර්තාව වැඩකට නැති ලියවිල්ලක් බවට පත්වන බවත්, නිලධාරීහු පවසති.

හමුවන රෝගී සංඛ්‍යාවේ පරීක්ෂණ සඳහා දැනට රජය සතු පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙයට හේතු වී තිබේ. එම අඩුපාඩු සපයනවා වෙනුවට ආණ්ඩුව වෙනත් දේ කරමින් සිටින බවට ඔවුහු චෝදනා කරති.

මැයි 17 දා මරණයක් ඊයේ තහවුරු කිරීම සහ මීට පෙර ද එබඳු වාර්තා ලැබීම ගැන අප කළ විමසුමකට පිළිතුරු දුන් එම නිලධාරීහු කිවේ මෙය දැන් සාමාන්‍ය තත්ත්වයක් බවත්, එමනිසා එදිනෙදා පවතින ඇත්ත තත්ත්වය සොයා ගැනීම දුෂ්කර වී ඇති බවත් ය. මේ දිනවල සිදුවන මරණ තහවුරු වන්නේ තව දින ගණනකින් හෝ සතියකින් දෙකකින් විය හැකි ය.

ඊයේ වාර්තා වූ මරණ 39 ම පෙර දිනවල සිදු වුඑව බව රජයේ ඊයේ නිවේදනය කළේ ය. එහි තේරුම ඊයේ මරණ සිදු නොවීම නොව ඒවා තහවුරු කර ගැනීමට තව දින ගණනාවක් ගතවීම බව අපේ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව දැන් ලැබෙන කොවිඩ් වාර්තාවලින් පවතින සැබෑ තත්ත්වය තක්සේරු කර ගැනීමට නොහැකි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *