ඌරුජුවා සහ තාරකගෙන් පසුව – අනුර සූරියබණ්ඩාර

Extrajudicial killing යන වදනක් නීති ක්ෂේත්‍රයේ තිබේ .ඉන් අදහස් වන්නේ ,ආණ්ඩුවේ යාන්ත්‍රණයන් (govermentel authorities) විසින් අධිකරණ ක්‍රියාදාමයකින් හෝ නෛතික වැඩපිළිවෙළකින් තොරව මිනිසුන් මරණයට පත් කිරීමයි .පොලිස් අත්අඩංගුවේ සිටින තැනැත්තකු මියයාම සැලකිය යුතු වන්නේ ඉහත සඳහන් කළ ආකාරයේ extra judicial killing හෙවත් අධිකරණමය නොවන ඝාතනයක් වශයෙනි .

මෙලන් මබුලා නොහොත් ඌරු ජුවා නමැත්තා සහ තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක පොලිස් අත්අඩංගුවේ සිටියදී පොලිස් වෙඩි පහරින් මියගියහ . පොලිසීය ප්‍රකාශ කරන්නේ සඟවා තිබුණු අවි ආයුධ පෙන්වන්නට යන අතර සිදුවූ ගැටුමක් හේතුවෙන් පොලීසිය එල්ල කළ වෙඩි පහරකින් ඔවුන් මියගිය බවයි .

බැලූබැල්මට කරුණ පැහැදිලිය ,සාධාරණය  . හේතුව ඔවුන් දෙදෙනාම පාතාල කල්ලි සාමාජිකයන් බවද පොලිසිය පවසන බැවිනි . මිනීමැරුම් මංකොල්ල කෑම් ආදී තවත් ⁣බරපතළ අපරාධ චෝදනාද ඔවුනට එල්ලවී ඇති බවද පොලීසිය පවසයි .ඉහත කරුණු අනුව බහුතර ජනතාව කල්පනා කරන්නේ , පාතාලයන් , අපරාධකරුවන් , මිනීමරුවන් එසේ මියගියාට ගැටලුවක් නැති බවය .

තම බාරයේ සිටින පුද්ගලයන් ආරක්ෂාකිරීම සැලකෙනුයේ පොලීසියට සහ රජයට පැවරෙන යුතුකමක් වශයෙනි . අදාළ තැනැත්තා පාතාලයකුද , මිනීමරුවකුද මංකොල්ලකාරයකුද ත්‍රස්තවාදියකුද යන්න එහිදී අදාළ වන්නේ නැත . හේතුව පොලිසිය බාරයේ සිටින්නකු චෝදනා ලැබූවකු , සැකකරුවකු මිස වරදකරුවකු නොවන බැවිනි .යම් චෝදනාවකට වරදකරුවකු නම් ඔහු සිටිනු ඇත්තේ පොලිසිය බාරයේ නොව බන්ධනාගාර ගතවය .ඒ අනුව මෙලන් මබුලා හෙවත් ඌරුජුවා සහ තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක යනු පොලිසිය බාරයේ සිටි සැකකරුවන් දෙදෙනෙකි . ඔවුනට කවර චෝදනා ඇති බව පොලිසිය කියූවද ඒ කිසිවකට වගකිය යුතු වන්නේ ඔවුන් බව මෙතෙක් නිසි නීතිමය සහ අධිකරණමය ක්‍රියාදාමයක් මගින් තහවුරු වී ද නොමැත .

අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් සඟවා ඇති අවි පෙන්වන්නට යාමේදී පොලිසිය සමඟ ඇතිවන ගැටුම්වලදී මියයාම මෙරටට ආගන්තුක නැත .පසුගිය රාජපක්ෂ පාලනයේ අවසන් කාලයේ  සැඟවූ අවි පෙන්වන්නට යාමේදී ඇතිවන ගැටුම්වලදී පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් පොලිස් වෙඩිපහරින් මියයාම් පිළිබඳ නිතර අසන්නට ලැබුණි .තත්වය කෙතරම් දරුණු වීද යත් බොහෝ  තීන්දුවලදී , රජය බාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජයට වගකීමක් ඇති බව පෙන්වාදෙන්නට පවා අධිකරණයට සිදුවිය . සැඟවූ අවිආයුධ පෙන්වන්නට සැකකරුවන් රැගෙන යන විට මාංචු නොදා රැගෙන යන්නේ මන්දැයි අධිකරණය පොලිසියෙන් විමසුවේය .ඒ අනුව ඊළඟ සැකකරු  සැඟවූ අවි සොයන්නට මාංචු දමා රැඟෙන ගිය අතර ඔහු මියයනු ලැබුණේ මාංචු සමඟ පලා යාමට උත්සාහ කිරීමේදී දියට වැටීමෙනි .වැලිකඩ සිරකරුවන් ඝාතනය ආදියෙන් පැහැදිලි වූයේ අත්අඩංගුවේ පසුවන්නන්ට පමණක් නොව බන්ධනාගාරගතව සිටින්නන්ට පවා ඒ කාලයේ අනීතික ඝාතනවලට ගොදුරු වන්නට සිදුවූ ආකාරයය.

බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ කවියක අදහසක් මෙහිදී සිහියට නැඟේ ; යක්ෂයෙක් ගමට එයි , ඌ මිනිසුන් ඝාතනය කරයි .යක්ෂයා තමන්ගේ නිවෙසට නෑවිත් අනෙකාගේ නිවෙසට ඒම ගැන සැවොම සතුටු වෙති  .අවසන ගෙයින් ගෙයට ගොස් යක්ෂයා තමන්ගේ නිවෙසට පැමිණෙන විට විරුද්ධ වන්නට කිසිවකු නැත .

ඌරු ජුවාගේත් කොස්ගොඩ තාරකගේ මරණය සම්බන්ධයෙන් සතුටුවන , නිහඬවන ඉවසා වදාරණ සමාජය තේරුම් ගත යුතු කරුණක් ඉහත කවියෙහි අන්තර්ගතව තිබේ . එනම් නිහඬව සිටින්නේ නම් කාගෙත් නිවෙසට කොයි මොහොතක හෝ යක්ෂයා පැමිණිය හැකි බවයි .

නිදසුනක් වශයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේය .බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්වූ ආකාරයට  සමාජ ක්‍රියාකාරිකයන් , මාධ්‍යවේදීන් , දේශපාලන පක්ෂ නායකයින් , වෘත්තීය සමිති ක්‍රියාධරයන් වැනි ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාවනට එරෙහි වන්නන්ද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනෙන්නට පුළුවන .අත්අඩංගුවට ගැනෙන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ බැවින් එවැන්නන් සඟවා ඇති අවි සොයන්නට රැගෙන යන්නටත් ඉඩ තිබේ .භයානක තත්වය වන්නේ එයයි .

වරද කුමක් වුව වරදකරු කවරකු වුව සිදුවිය යුත්තේ , අදාළ තැනැත්තන්ට අධිකරණයක් හමුවේ නිසි පරිදි නඩු පවරා වරදකරු කර දඬුවම් පැමිණවීම මිස බලය ඉක්මවා කටයුතු කිරීම⁣ට පොලීසියට හෝ වෙනත් අධිකාරී බලයකට අවස්ථාව සැලසීම නොවේ .

ඉහත ආකාරයේ අනීතික ඝාතන මෙරට මානව හිමිකම් කැරැට්ටුවටද යහපත් වන්නේ නැත .ජාත්‍යන්තරය හමුවේ මෙරට හුදෙකලා වීමට පවා එවැනි දේ බලපාන්නට පුළුවන . පසුගිය රාජපක්ෂ පාලන සමයේ ජී එස් පී ප්ලස් සහනය මෙරටට අහිමි වූයේද මානව හිමිකම් කැරැට්ටුවේ දුර්වලතා හේතුවෙන් බව සැවොම දනිති.

කොස්ගොඩ තාරකගේ ඝාතනය සම්බන්ධයෙන් සලකන එම ඝාතනය සිදුව ඇත්තේ ,   තම සේවා දායකයා වන තාරක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට පෑලියගොඩ වි⁣ශේෂ පොලිස් ඒකකයට මාරුකර ඇති බවත් ඔහු අත්අඩංගුවේදී මරා දමනු ඇති බවත් සැකකළ තාරකගේ නීතිඥයන් විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒ ගැන දැනුවත් කර නීතිඥ සංගමය ඒ පිළිබඳ පොලිස්පති වරයා දැනුවත් කර තිබුුුුණු පසුබිමක ය .මෙි අනුව පෙනෙන්නේ පුද්ගලයන්ට එරෙහි බැරෑරුම් කම් නොසලකා තමන් බාරයේ සිටින පුද්ගලයන් ආරක්ෂා කරන්නට පොලිස්පති වරයා අසමත්ව ඇති බවය .තමන් බාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට පොලිසියට පැවරෙන වගකීම ( කොස්ගොඩ තාරක අත්අඩංගුවෙිදී මරාදමනු ඇතැයි නීතිඥයන් සැක පළකර පොලිස්පති වරයා දැනුවත් කර තිබියදී පවා ) සහතික කරන්නට පොලිස්පති වරයා සහ ආණ්ඩුව අසමත් වී හෝ උනන්දු නොවී ඇති බවය .ලබ්බට තබන අත පුහුලටත් තබනු ඇත යනුවෙන් කියුමක් තිබේ .පැවැති රාජපක්ෂ පාලනයේ අවසන් කාලයේ පාතාලය ඉලක්ක කර කෙරුණු අනීතික ඝාතන කටුනායක , රතුපස්වල දක්වාද , ලසන්ත වික්‍රමතුංග , එක්නැලිගොඩ දක්වාද දිගෑදුණු බව සිහි තබාගෙන එයා පාතාලයා , එයා මිනීමරුවාය කියා සිතමින් නොසිට , සියලු ආකාරයේ අනීතික ඝාතනවලට එරෙහිව පෙලගැසෙන්නට සමාජය සූදානම් විය යුත්තේය .

 

     අනුර සූරියබණ්ඩාර

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *