එන්නත්කරණය කළ ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් වාර්තා වීමේ අඩුවක් ; මෙරට සහ ඉන්දියාවේ වැඩි වුණත් ලෝකයේ කොවිඩ් අඩුවක් !

එන්නත්කරණය ක්‍රියාත්මක කළ ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කොට ඇත.

වැඩි ම ජන ඝනත්වයක් ඇති කොළඹ මහා නගර සභා ප්‍රදේශයෙන් රෝගීන් වාර්තා වීමේ සාපේක්ෂ අඩුවක් ඇති බව ද ඒ මහතා කියයි.

මෙරටින් පෙරේදා  (05) වර්තා වූ ආසාදිතයන් අතුරින් 498 දෙනෙකු වන වැඩිම පිරිසක් කොළඔ දිස්ත්‍රික්කයෙන් වර්තා වුණද කොළඔ නගර සිමාවේන් වර්තා වි ඇත්තේ ඉන් ආසාදිතයන් 40 දෙනෙකු පමණි.

ඉතිරි ආසාදිතයින් 458 දෙනා පිළියන්දල, මුල්ලේරියාව, පාදුක්ක, හංවැල්ල, වැල්ලම්පිටිය, ගොතටුව හා කඩුවෙල මහ නගර සභා සිමාවෙන් හඳුනාගෙන තිබේ.

මෙරට ජනතාවගෙන් 4%කට අසන්න පිරිසක් මෙවන විට එන්නත් ලබාගෙන ඇති අතර අධික ජන ඝනත්වයක් සහිත කොළඔ මහ නගර සභා සිමාවේ පුද්ගලයින් 5%ක් එන්නත් කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කළ ද  ලොව බොහෝ රටවල මේ වනවිට දක්නට ලැබෙන්නේ කොවිඩ් ව්‍යාප්තියේ අඩුවීමකි. කොවිඩ් රෝගීන් විශාල ලෙස වාර්තා වූ ඇමෙරිකාව, බ්‍රතන්‍යය, ඉතාලිය, ප්‍රංශය, තුර්කිය, ජර්මනිය, ඇතුළු රටවල් 41 ක් එයට ඇතුළත් ය.

එන්නත්කරණ වැඩපිළිවෙළ ඊට ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇතැයි විශ්වාස කෙරේ.

ලොව කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම හා මරණ වාර්තාවීම ඊට පෙර සතියට සාපේක්ෂව ගෙවුණු දින 07 තුළ අඩුවීමක් පෙන්නුම් කර ඇත.

එසේ වුවත් ඉන්දියාවේ පෙර සතියට සාපේක්ෂව ආසාදිතයන් සංඛ්‍යාව 11% කින් ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාවද 26%කින් ඉහළගොස් තිබුණි.

ඉන්දියාවේ මෙන්ම බ්‍රසීලය, නේපාලය, මැලේසියාව, කොස්ටරිකාව, ශ්‍රී ලංකාව, බොලීවියාව, දකුණු අප්‍රිකාව යන රටවලද ආසාදිත සංඛ්‍යාවේ අධික වර්ධනයක් ගෙවුණු සතියේ පෙන්නුම් කළ අතර ශ්‍රී ලංකාව දෛනික වැඩිම ආසාදිතයන් වාර්තාවන රටවල් ලැයිස්තුවේ 39 වන තැනට පත්ව සිටී.

කොවිඩ් එන්නත් මාත්‍රා බිලියන 1.21ක් ලොව රටවල් සහ කලාප 190 ක ජනතාවට මේ වන විට ලබා දී අවසන්ය.

ඉන් අඩක්ම බෙදී ගොස් ඇත්තේ අමෙරිකාව, චීනය හා ඉන්දියාව අතරය.

එක් එන්නතක් හෝ නොලැබුණු රටවල් රැසක්ද ලොව පවතී.

ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් වර්තා වී ඇති අමෙරිකාවේ සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන්ම එක් පුද්ගලයකුට කොවිඩි ආසාදනය වී ඇති අතර මේ වන විට එරට ජනගහනයෙන් 50% කට ආසන්න පිරිසකට එන්නත් ලබාදී තිබේ.

පසුගිය සතියට සාපේක්ෂව ගෙවුණු සතියේ අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවිම 14% කින් පහළ ගොස් තිබුණි.

බ්‍රිතාන්‍ය ජනතාවගෙන් 50 %ට අසන්න පිරිසකට මේ වන විට එන්නත් ලබාදී අවසන් අතර ගෙවුණු සතියේ එරටින් ආසාදිතයන් වාර්තාවීම 12% කින් පහළ ගොස් ඇත.

ඊශ්‍රායලයේ ජනගහනයෙන් 60%කට වැඩි පිරිසකට කොවිඩ් එන්නත් ලබාදී ඇති අතර එරට කොවිඩ් පාලනය වී තිබීම සැලකිල්ලට ගනිමින් මුඛ ආවරණ පැලඳීමේ නීතියද ලිහිල් කර තිබේ.

රටක ජනගහනයට සාපේක්ෂව ලොව වැඩිම ජනතාවක් එන්නත්කරණයට ලක් කර ඇත්තේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින ජිබ්‍රොල්ටා රාජ්‍යයේ වන අතර එම ප්‍රතිශතය 99.8% කි.

පසුගිය සතියේ එරටින් වර්තා වි ඇත්තේ ආසාදිතයින් තිදෙනෙකු පමණි.

මෙලෙස එන්නත්කරණය සිදුකළ බොහෝ රටවල් වල පසුගිය සතියේ සැලකියයුතු ආකාරයට ආසාදිතයන් වාර්තාවීම පහළ ගොස් තිබීම විශේෂත්වයකි.

 

‘අද දෙරණ’ ඇසුරිනි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *