වී මෙට්‍රික් ටොන් තිස් ලක්ෂයක් හැංගුවේ කවුද ? – බලධාරීන්ට ප්‍රශ්නයක්

මෙම මාස් කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ තිස් දෙකක් පමණ වනු ඇතැයි රජය නිල වශයෙන් ගණන් බලා ඇති අතර එම වී ප්‍රමාණය වෙළෙඳපොළට නොලැබී විශාල සහල් හිගයක් නිර්මානය වුයේ කෙසේදැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ මෙන් ම වෙළෙඳ අමාත්‍යංශයේ ද බලධාරීන් ට ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙයි.

මෙම සහල් අස්වැන්න වෙළෙඳපොළට ලැබුනේ නම් රටේ මාස දහයක පරිභාජනය සඳහා ප්‍රමාණවත් බව කියති.

සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික ජනයාගේ මාසික සහල් පරිභෝජනය සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. එම සහල් ප්‍රමාණය ලබාගැනීම සඳහා අවශ්‍ය වන වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ විසි දහසකි. මෙවර මාස් කන්නයේ ගණන් බල ඇති වී අස්වැන්න මාසික අවශ්‍යතාවය මෙන් දහ ගුණයකි. මෙයින් අඩක් වෙළෙඳපොළට පැමිණියේ නම් මාස පහක පරිභෝජනයට ප්‍රමාණවත් ය. සහල් හිගයකට කිසිදු හේතුවක් නැත.

රජය සැලසුම් කොට තිබුණේ අස්වැන්නෙන් සියයට දහයක් මිල දී ගන්නට ය . එනම් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මිල දී ගන්නට ය. කෙසේ වෙතත් රජයේ මිලට වී දෙන්නට ගොවීන් කැමති නොවූ අතර පොහොර සහනාධාරය කපන බවට තර්ජනය කළ ද ගොවීන් වී දුන්නේ නැත. රජයට මිල දී ගත හැකි වී ඇත්තේ මෙට්‍රික් ටොන් තිස් දහසක් පමණකි .

ලොකු මෝල් හිමියන් සහල් සඟවා ඇති බවට රජය චෝදනා කළ ද වී මෙට්‍රික් ටොන් පහළොස් ලක්ෂයක්, විසි ලක්ෂයක් සැඟවීමට ඔවුන් සතුව පහසුකම් නොමැති බව කියති.

අනෙක් අතට වෙළෙඳුන් සහල් සඟවන්නේ අස්වැන්න අඩු වී සහල් හිගයක් ඇතිවන බව පෙනී ගිය හොත් ය. විශාල අස්වැන්නක් ලැබී තිබිය දී සහල් සැඟවීම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයකි.

කෙසේ හෝ වේවා ! විශාල වී අස්වැන්නක් ලැබී තිබිය දී සහල් හිගයක් නිර්මාණය වී ඇත. රජයේ බලධාරීන්ගේ වැඩ නිසා මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවට චෝදනා නැගී තිබේ.

ඇතැම් විට ගොවීන් වී නොවිකුණා සිටිනවා විය හැකි ය. ගොවීන් පරිභෝජනය කරන අනෙක් සියලු භාණ්ඩ මිල ඉහළ යද්දී රජය බලෙන් වී සහ සහල් මිල පාලනය කිරීමට යාමට ගොවීන්ගේ ප්‍රතිචාරය මෙය විය හැකි යයි විශ්වාස කළ හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *