අසාද් සාලි කොළඹ දී කී කතාව ම ශ්‍රී ලංකා නියෝජිත ජිනීවා මානව හිමිකම් සමුළුවට කියලා ; සාලිට දාපු ලෙඩෙන් නිත්‍ය නියෝජිතයාත් අමාරුවේ

මෙරට සුළුතර ජාතීන්ගේ අයිතීන් ගැන බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ දී කියූ කතාවට සමාන කතාවක් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සමුළුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී ඒ චන්ද්‍රප්‍රේම මහතා මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කොට ඇති බවත් , අසාද් සාලිට එරෙහිව පියවර ගැනීමත් සමග නිත්‍ය නියෝජිතයාගේ කතාව ද හැල්ලු වී ඔහු අපහසුතාවයට පත්ව ඇති බවත් , තතුදත් ආරංචි මාර්ග කියයි.
ජිනීවා නිත්‍ය නියෝජිත සී ඒ චන්ද්‍රප්‍රේම මහතා ජිනීවා සමුළුවේ පරිවාර රැස්වීමක් අමතා කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ සුළුතර ජාතීන්ට ඔවුන්ගේ ජාතික සහ ආගමික නිදහස දී තිබෙන බවයි. එම ජන කණ්ඩායම්වලට තම තමන්ගේ පෞද්ගලික නීති ඇති බවත් , ඔවුන් කටයුතු කරන්නේ එම නීති අනුව බවත් කියා ඇති චන්ද්‍රප්‍රේම මහතා වැඩි දුරටත් කියා ඇත්තේ එලෙස ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට රජය බාධා නොකරන බවයි.
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කීවේ මෙරට මුස්ලිම් ජනයා කටයුතු කරන්නේ තමන්ගේ ෂරියා නීතිය අනුව බවයි. එය වලක්වන්නට කිසිවකුට ඉඩ නොදෙන බව ද ඒ මහතා කීය.
කෙසේ වෙතත් , එයට ප්‍රතිචාර දක්වමින් ඇමති සරත් වීරසේකර මහතා කීවේ එහෙම නීති වලට මේ රටේ ඉඩ නොදෙන බව හා එසේ කරන්නට ඕනෑ නම් සෞදි අරාබියට යා යුතු බවයි. අසාද් සාලි මහතා අත් අඩංගුවට ගන්නා බව ද ප්‍රකාශ වූ අතර මේ වනවිට ඔහු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් පැවැත්වෙයි.
මෙම තත්ත්වය පිලිබඳ ප්රවෘත්ති ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ බටහිර රටවල් සහ මුස්ලිම් රටවල් අතර බෙදා හැරීමට ද යම්කිසි පිරිසක් කටයුතු කොට ඇති බව කියති.
ශ්‍රී ලංකාව තුළ වෙසෙන විවිධ ජන කොටස් වලට ඔවුන් පිළිගන්නා නීති අනුව තම කටයුතු කරගෙන යන්නට ඉඩ දී ඇතැයි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා මානව හිමිකම් සමුළුවට කළ ප්‍රකාශය මෙම සිද්ධිය නිසා උපහාසයට ලක්වී ඇති බව කියති.
මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට රටවල් වැඩි ගණනක සහය ලබා ගැනීමේ උත්සාහයට ද මෙම සිදුවීම අහිතකර ලෙස බලබා තිබේ.
