පාස්කු ප්‍රහාරය ගැන ඉන්දියාවට ලැබුණු තොරතුරු අපේ බුද්ධි අංශවලට නොලැබුණේ ඇයි ? කියන එකත් ප්‍රශ්නයක් – එජාප නායක රනිල් වික්‍රමසිංහ

පාස්කු ඉරිදා පල්ලිවලට සහ හෝටල්වලට එල්ල වූ ප්‍රහාරය ගැන ඉන්දියාව තොරතුරු දී තිබිය දී ක්‍රියාත්මක නොවීම පමණක් නොව , මෙරට බුද්ධි අංශවලට එම තොරතුරු කිසිවක් නොලැබීම ද ප්‍රශ්නයක් බව හිටපු අගමැති , එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
ප්‍රහාරයට මාස පහකට පමණ පෙර සිට සහරාන් හසීම්ගේ කණ්ඩායම අවි පුහුණුව ලබා ඇති බව ට පසුව තොරතුරු ලැබුණ ද ,ප්‍රහාරය වන්නට පෙර එම තොරතුරු ද මෙරට බුද්ධි අංශ වෙත ලැබී නොතිබුණු බව ද ඒ මහතා කියයි.
ප්‍රහාරය ගැන ඉන්දියාව දුන් තොරතුරු තමන් දැන නොසිටි බව පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව මෙන් ම ජනාධිපති කොමිසම ද පිළිගෙන ඇති බව ඒ මහතා වැඩි දුරටත් කියා ඇත.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා මෙහෙයවන ‘ට්රූත් විත් චමුදිත’ යු ටියුබ් සාකච්ඡාවට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළේ ය.
අයි එස් පුහුණුව ලැබූ පිරිසක් ගැන විජේදාස රාජපක්ෂ මහතා කල්තබා කළ හෙළිදරවුව ගැන ප්‍රශ්න කළ විට රනිල් වික්‍රමසිංහ මහතා කීවේ එම තොරතුරු විජේදාස රාජපක්ෂ මහතාට ලබා දුන්නේ ද බුද්ධි අංශ බව යි . එම පිරිස ගැන විමසිල්ලෙන් සිටීමට බුද්ධි අංශවලට උපදෙස් දී තිබු බවත් , ඔවුන් කිසිවෙක් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ වූ බවට තොරතුරු නොලැබුණු බවත් , එම පිරිස සහ සහරාන්ගේ කණ්ඩායම අතර සම්බන්ධයක් නොතිබූ බවත් ,හිටපු අගමැතිවරයා පවසයි.
ආරක්ෂක තොරතුරු තමන්ට ලැබුණු කාලයේ සහරන් හසීම් ගැන බුද්ධි අංශ වාර්තා කොට තිබුනේ ඔහු අන්තවාදී අදහස් පතුරවන බවට පමණක් බවත් ,ත්‍රස්තවාදී සැලසුමක් ගැන තොරතුරු නොතිබූ බවත්, හිටපු අගමැතිවරයා කියයි.
අන්තවාදී අදහස් පැතිරවීම ගැන සහරන්ට එරෙහිව අයි සී සී පී ආර් පනත යටතේ ක්‍රියාකිරීමට නීතිපති උපදෙස් ලබා ගැනීමට තමා උපදෙස් දුන් බව කියන වික්‍රමසිංහ මහතා නීතිපතිගේ උපදෙස් නැතිව අත් අඩංගුවට ගෙන නඩු වැටුනොත් අතින් වන්දි ගෙවීමට පොලිස් නිලධාරීන්ට සිදුවන බව ද පැවසීය.
තම අනාගත දේශපාලන සැලසුම් ගැන කළ ප්‍රශ කිරීමට පිළිතුරු දුන් රනි වික්‍රමසිංහ මහතා කීවේ මෙය එක අතෙකින් පක්ෂයට ලැබුණු හොඳ අවස්ථාවක් බව යි . දැන් අලුත් පිරිසකට අලුතින් සිතා වැඩ කරන්නට අවස්ථාව ලැබී ඇති බවත් , අලුතින් නොසිතන කිසිදු පක්ෂයකට අනාගතයක් නැති බවත් ඒ මහතා පැවසී ය.
