ගොඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සමයේ මානව හිමිකම් කඩවීම් වාර්තා සමාලෝචනයට ජනාධිපති කමිටුවක් පත්කරයි

වත්මන් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ, යුද්ධයේ අවසන් සමයේ සිදු වූ බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව මෙතෙක් කර ඇති පරීක්ෂණ වාර්තා අධ්‍යනය කොට සමාලෝචනය කිරීමටත් , එම චෝදන පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කරනු ලැබ ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච් එම් ඩී නවාස් මහතගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සහ විශ්‍රාම ලත් දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ය.
ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ අත්සනින් ඊයේ (21 ) නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් මෙම පත්වීම් සිදුකොට තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද උගත් පාඩම් සහ ප්රතිසංධාන කොමිසමේ වාර්තාව , ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සීලයේ දරුස්මාන් කමිටු වාර්තාව ඇතුළු මේ සම්බන්ධයෙන් සිදුකොට ඇති සියලු වාර්තා පරීක්ෂා කොට නිර්දේශ ඉදිරිපත් කිරීම ද මෙම කොමිසමේ කාර්යයක් ලෙස සඳහන් ය.
කොමිසමේ වාර්තාව ලබාදීමට මාස හයක කාලයක් ලබා දී තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට විදේශ ඇමති දීනේෂ් ගුණවර්ධන මහතා පසුගිය වසරේ ලබාදුන් පොරොන්දුවක් අනුව මෙම කොමිසම පත් කොට තිබේ.
මානව හිමිකම් කවුසිලයේ මීළඟ සැසිවාරය ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතය.
මෙවර සැසිවාරයට එහි සාමාජික රටවල් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලුත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට යන බව ද වාර්තා වෙයි.
